2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසයි. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය.
මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 කි.එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි.
2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 විය. මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයකි. එය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරයි.
2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 5.46% ක වැඩිවීමකි.
සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වි ඇත. 2025 මැයි මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 358.14 කි. වසරේ මුල් මාස පහ තුළ සේවා අපනයන 13.20% කින් වර්ධනය වී ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 1,589.12 කි. මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.


