බදුල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මක්

බදුල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමේ මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මක්
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සංචාරක සැලැස්මක අවශ්‍යතාවය හඳුනාගනිමින් සංචාරක ආකර්ෂණීය දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කලාප දහයක් මේ වන විට තෝරාගෙන ඇති බවත්, පාරසරික දේශගුණික සංවේදී කලාප ලෙසින්, සංචාරකයින්ට වඩාත් උචිත අත්දැකීම් සපිරි සංචාරක කලාප ලෙස සංවර්ධනය වෙනුවෙන් මධ්‍යකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් පළාත් සංචාරක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බදුල්ල දිස්ත්‍රික් සංචාරක අනු කමිටුව සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව අවධානය යොමු විය.

2026 වර්ෂය සඳහා ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 320.6 ක ප්‍රතිපාදන හිමිවී ඇති අතර මේ වන විටත් වැල්ලවාය සංචාරක පහසුකම් අධ්‍යස්ථානය, ඇල්ලේපොළ, කිතල්ඇල්ල දිය කඩිත්ත, අරදුනු ඇල්ල, ගැරඬිය ඇල්ල, පරවියන් ඇල්ල, බිබිලේගම, සීලෝන් බංගලාව ආදී ස්ථානයන්ට ප්‍රවේශ වන මාර්ග සංවර්ධන කටයුතු, දුන්හිද ඇල්ල නැරඹුම් වේදිකාව ප්‍රතිසංස්කරණය, සංචාරක ස්ථාන හඳුනා ගැනීමේ පුවරු සැකසීම, පාසල් හැර ගිය තරුණ පිරිස වෙනුවෙන් ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය මගින් පවත්වන හෝටල් පාඨමාලාව, කටුපිළ වැව ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය හා ඇල්ල නගරයේ ස්ථාන අනු දෙකක වීදි ලාම්පු සවිකිරීම ඇතුළු ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වේ.

ඌව පරණගම සංචාරක කලාපයක් ලෙස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර ඒ සඳහා මිලියන 139.77 වැය වේ.

මේ වන විටත් සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනා ගැනීමත් ඒවාට විසඳුම් සාකච්ඡා කිරීම හා විවිධ යෝජනා ආදිය මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

බදුල්ල පළාත් පාලන ආයතන වල සභාපතිවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, ආණ්ඩුකාර ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන), ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.