නැගෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන්ට ජාතික ශිෂ්‍යභට බලකාය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

නැගෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන්ට ජාතික ශිෂ්‍යභට බලකාය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක්
  • SocialShare:

නැගෙනහිර පළාතේ සියලුම අධ්‍යාපන බලධාරීන් සඳහා ජාතික ශිෂ්‍යභට බලකාය (NCC) පිළිබඳ දැනුවත් කිරීමේ හා ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා  මඩකලපුව වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ආර්. හසන්ති මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩමුළුව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එම්. පී. සී. ආර්. ප්‍රේමතිලක ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් කේ. පී. අරුණ ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්.ඩබ්ලිව්.වී., ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ විනය, නායකත්වය සහ පෞරුෂ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රමුඛතම විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකායේ කාර්යභාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.

වැඩමුළුව අතරතුර පාසල් ප්‍රධානීන්ට ජාතික ශිෂ්‍යභට බලකායේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ප්‍රායෝගික අභියෝග පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට අවස්ථාව හිමි වූ අතර, ඒ පිළිබඳ අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීමටද ඉඩ ප්‍රස්ථාව සැලසිණි.