රාජ්‍ය භාෂා දින සතිය වෙනුවෙන් පොළොන්නරුවේ පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්

රාජ්‍ය භාෂා දින සතිය වෙනුවෙන් පොළොන්නරුවේ පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්
  • SocialShare:

2026 රාජ්‍ය භාෂා දිනය හා සමගාමීව පැවති රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මාලාවේ අවසන් මහා තරගය පසුගිය 10 වැනිදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභිරූ ශාලාවේදී පැවැත්විණි.

ජූනි 30 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා දිඹුලාගල සහ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපවල තෝරාගත් පාසල් අතර පැවති මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා දිඹුලාගල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් පො/දිඹු/ මැදගම මහා විද්‍යාලය ද, හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් පො/ විජිත මධ්‍ය මහා විද්‍යාලය ද සහභාගී විය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරිය, පරිපාලන නිලධාරීවරිය සහ දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීවරයා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පැවති අභියෝගාත්මක තරගයකින් අනතුරුව, ශූරතාවය හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පො/ විජිත මධ්‍ය මහා විද්‍යාලයට හිමි විය. අනුශූරතාවය පො/දිඹු/ මැදගම මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සහ සිසුන් අතර භාෂා දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන් මාලාවේ සමස්ත සංවිධාන කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරිනී සුජීවනී පිටිගල මහත්මිය විසින් සිදු කරන ලදී. වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය මගින් ලබා දී තිබිණි.

සිසු සිසුවියන්ගේ භාෂා හැකියාවන් ඔප්නංවමින් ජාතික සහජීවනය ශක්තිමත් කිරීම වැඩසටහනේ මූලික අරමුණ වේ.