අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ සංවාදයක් පොළොන්නරුවේදී

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ සංවාදයක් පොළොන්නරුවේදී
  • SocialShare:

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි ගමන තීරණය කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සංවාදයක් ඇති කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (07) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නඳුල ශාලාවේදී පැවැත්විණි.

උතුරු මැද පළාත මූලික කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම කාලීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවාදය, ශ්‍රී ලංකා ග්‍රාමීය සංවර්ධන පදනම සහ අධ්‍යාපන සංවර්ධන සන්ධානය එක්ව සංවිධානය කර තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංවාදය සඳහා දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වර්තමාන අධ්‍යාපන රටාවේ ඇති විය යුතු ගුණාත්මක වෙනස්කම්, විෂය මාලා සංශෝධන, ගුරු පුහුණු අවශ්‍යතා සහ උතුරු මැද පළාතේ පාසල් පද්ධතිය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙම සංවාදයේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා පළාත් මට්ටමේ යෝජනා සහ ජනතා අදහස් ලබා ගැනීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණ විය.