කෝපායි පොලිස් ස්ථානය සඳහා සියලු පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ලක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විවෘත කෙරිණි.
රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය කර ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල, ජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක සහ ගුණාත්මක පොලිස් සේවාවක් ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර ඇත.
උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාව වෙත කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම ශ්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ද ඔහු අවධාරණය කළේය.
රටේ අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩපැවැත්වීම සඳහා රජය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බවත්, ඒ සඳහා ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවේදී, පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටා තිබූ භූමියේ නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත එහි භුක්තිය යළි පවරාදීම සංකේතවත් කරමින් අයිතිකරුවන් හත් දෙනෙකුට නිවාස යතුරු ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
උත්සවයට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.


