සබරගමුව වෛද්‍ය පීඨය සහ මහාචාර්ය ඒකකය යා කරන මාර්ගය සංවර්ධනය කෙරේ

සබරගමුව වෛද්‍ය පීඨය සහ මහාචාර්ය ඒකකය යා කරන මාර්ගය සංවර්ධනය කෙරේ
  • SocialShare:

රත්නපුර නව නගරයේ ස්ථාපිත කර ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි මහාචාර්ය ඒකකය යා කරන මාර්ග පද්ධතිය කඩිනමින් සංවර්ධනය කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා සඳහන් කළාය.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළේ මෙම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා රත්නපුර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනි.

මෙම මාර්ගය මේ වන විටත් ගම්වාසීන් විසින් භාවිත කරන පටු මාර්ග පද්ධතියකි.

එය අඩි 15ක් පමණ පළලට කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා සබරගමුව පළාත් සභාව කටයුතු කරමින් සිටී.

ඒ සඳහා මැනුම් කටයුතු මේ වන විට සිදු කර අවසන්ය. ඊට වැය වන මුදල රුපියල් මිලියන 584කි.

සබරගමු වෛද්‍ය පීඨය සෞදි රාජ්‍යය මගින් ප්‍රධාන වශයෙන් ඉදිකෙරේ. මේ වන විට එහි ඉදිකිරීම් අවසන් මට්ටමේ පවතී.

මෙම වර්ෂයේ ජූලි මස මුල් සතිය තුළ එය සිසු අයිතියට පැවරීමේ උත්සවය සංවිධානය කර ඇත. එහි මේ වන විට සිසුන් 1000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වේ.

වෛද්‍ය සිසුන් 500ක් පමණ වෛද්‍ය පීඨය තුළ ඉදිකර ඇති නේවාසිකාගාරවල මේ වන විටත් නවාතැන් ගෙන සිටිති.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී පුෂ්පකුමාර දිසානායක ‍යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.