දිට්වා ආපදාව හේතුවෙන් නිවාස පූර්ණයෙන් හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පුද්ගලයින් 44 දෙනෙකුට ඉඩම් ඔප්පු දීමනා පත් ප්‍රදානය කිරීම පසුගියදා (24)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා සහභාගී විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තාන ප්‍රදේශයේ ඉඩමකින් මෙම ඉඩම් කට්ටි තෝරාගෙන ඇති අතර, ඉදිරි මාස හතරක කාලය තුළ එම භූමිවල නිවාස ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රජය විසින් ලබාදෙන රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල වාරික වශයෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබාදීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළ වටිනාකමක් ඇති හන්තාන වැනි ප්‍රදේශයකින් ඉඩම් හිමිවීම එම පිරිසට විශාල අවස්ථාවක් වන බවයි. එසේම, නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නොමිලේ තාක්ෂණික සහාය ලබාදීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක සහ ඊ. එම්. බස්නායක ඇතුළු නියෝජිතයින් කිහිපදෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.


