විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත වත්මන් රජය ආරම්භ කළ “රටම එකට” ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම් සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (11) තංගල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන තුළින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, ප්‍රජාවගේ සහභාගීත්වය වර්ධනය කිරීමත් අරමුණු කරගෙන තිබුණි.
විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදාගෙන පුනරුත්ථාපනයට යොමු කිරීම යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා ජනතා දැනුවත්භාවය සහ සමාජ කතිකාවතක් වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
තංගල්ල, අගුණකොළපැලැස්ස, හුංගම සහ අම්බලන්තොට යන පොලිස් බලප්‍රදේශයන්හි මහජන ආරක්ෂක කමිටු ඉලක්ක කරගෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ, තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සඳරුවන් පී. බදුගේ ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාවද එක්ව සිටියහ.


