මසකට කොම්පෝස්ට් ටොන් 150ක් 200ක් පමණ නිපදවන අලුත්වත්ත කසළ අංගනයේ බැහැර කෙරෙන කසළ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇත.
ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඊට අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් සමගම එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා සිදු කරන ලදී.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය Clean ශ්‍රී ලංකා වැඩසටහනේද සහාය ඇතිව අපද්‍රව්‍ය කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබලගන්වමින්, ඉදිරි වසර 03 තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30% කින් අවම කිරීම අරමුණු කරගනිමින් 2025 වසරේ ආරම්භ කරන ලද, දිවයින පුරා "ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන" 58ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන අලුත්වත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට ද රුපියල් මිලියන 80කට වැඩි වටිනාකමකින් යුත් නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය හිමිව ඇත.
අලුත්වත්ත කසළ අංගනය වෙත කුණ්ඩසාලේ, පාතදුම්බර, මැදදුම්බර, ගඟවට, පූජාපිටිය, පන්විල යන ප්‍රාදේශීය සභා 06 සහ වත්තේගම නගර සභාව යන පළාත් පාලන ආයතන 7ක් මගින් දෛනිකව දිරන කසළ ටොන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් බැහැර කිරීම සිදුකරයි. මාසිකව දිරන කසළ ටොන් 600ක පමණ ප්‍රමාණයක් දළ වශයෙන් බැහැර කෙරේ.
මෙම කසළ සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන අතර එමගින් මසකට කොම්පෝස්ට් ටොන් 150ක් 200ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැක.
තවද නොදිරන කසළ ඇතුළු ඝණ අපද්‍රව්‍ය (ප්ලාස්ටික්, පොලිතීන්, කාඩ්බෝඩ්, පත්තර, ටින්, පෙට් (PET) බෝතල්), දෛනිකව ටොන් 8ක් පමණ බැහැර කිරීම සිදුකරන අතර ඒවායින් ආර්ථික වටිනාකමින් යුතු ද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණය සඳහා නැවත අළෙවි කරනු ලැබේ.
"ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන" ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පසුගිය වසර සඳහා රු. මිලියන 750ක් වෙන්වූ අතර 2026 වසරේදී රු. මිලියන 900ක් වෙන්ව ඇත. 2027 වසර සඳහා රු. මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන්කිරීමට ද නියමිත වේ. ගොඩනැගිල්ලේ වහල මත සවිකෙරෙන සූර්ය පැනල මගින් පුනර්ජනනීය ව්දුලිබලය උත්පාදනය ද මෙම "ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන" ව්‍යාපෘතියට ඇතුලත් වේ.


