මීරිගම පොලිස් ස්ථානයට නව පරිපාලන ගොඩනැගිල්ලක්

මීරිගම පොලිස් ස්ථානයට නව පරිපාලන ගොඩනැගිල්ලක්
  • SocialShare:

මීරිගම පොලිස් ස්ථානය මගින් මහජනතාව වෙත ලබාදෙන සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ඊයේ (25) ආරම්භ කෙරිණි.

දැනට පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මෙම පොලිස් ස්ථානයට අවශ්‍ය සියලු අංශ සඳහා ඉඩ පහසුකම් සපයන ලෙස නව ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර, එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි 08කට ආසන්න මුදලක් ලෙස ගණන් බලා ඇත.

එම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ (25) මීරිගම පොලිස් ස්ථාන භූමියේදී, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති ප්‍රියන්ත රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, සර්ව ආගමික පූජක පක්ෂය, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.