ලෝක අලි ඇතුන්ගේ දිිනය නිමිත්තෙන් පින්නවලදී සැමරුමක්

ලෝක අලි ඇතුන්ගේ දිිනය නිමිත්තෙන් පින්නවලදී සැමරුමක්
  • SocialShare:

අදට යෙදී තිබෙන ලෝක අලි ඇතුන්ගේ දිනය නිමිත්තෙන් විශේෂ වැඩ සටහන් මාලාවක් අද (12)පෙරවරුවේදී පින්නවල අලිය අනාථගාරයේදී පැවැත්විණි.‍

සෑම වසරකම අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අලි ඇතුන්ගේ වැදගත්කම, අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ලෝකවාසී සියළු දෙනාගේ අවධානය යොමු වන දිනයයි. අලි ඇතුන්ගේ අගනා ජීවිත රැක ගැනීම වෙනුවෙන් අප වෙත සුවිසල් කාර්යභාර්යක් පැවරී ඇති අතර එම අරමුණු පෙරදැරි කොට ගෙන මෙම විශේෂ දිනයේ දී ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ මානුෂීය ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ශන රත්නායක මහතා ඇතුළු ශිෂ්‍යයෙන් හැටක පමණ කණ්ඩායමක සහභාගිත්වයෙන් හා මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව දියත් කෙරිණි.

ඒ අනුව ධාන්‍ය  වර්ග වලින් ප්‍රණීත කිරිබතක් අලි ඇතුන් වෙනුවෙන් සැකසූ අතර පලතුරු වලින් ද අලි ඇතුන්ට සංග්‍රහ  කෙරිණි. අලි ඇතුන් නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින්ටද අලි ඇතුන් වෙනුවෙන් එම සංග්‍රහය පිරිනැමීමට අවස්ථාව සලසා දීමද මෙහිදි සිදුවු විශේෂ සිදුවීමකි.

ඉන් අනතුරුව පැමිණ සිටි ශිෂ්‍ය කණ්ඩායම විසින් පින්නවල අලිඅනාතාගාරය   පිරිසිදු කළ අතර අලි ඇතුන් නෑවීමේ කටයුතු සඳහාද මෙම සිසුන් සහභාගි විය.

මේ වන විට මේ වන විට අලි ඇතුන් 66 කට රැකවරණය සපයන පින්නවල අලි අනාථාගාරය ජාතික හා ප්‍රාදේශීය ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයමින් දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත.

 ශ්‍රී ලංකාවේ ස්වභාවික වාසස්ථානවල දිවි ගෙවන්නා වූ අලි ඇතුන් අනාගතයේ යම් දිනක වඳ වී යාමේ ගැටලුවට ලක් වුවහොත් එම සත්ව විශේෂයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට හා ජාන විවිධත්වයට බලපෑමක් ඇති නොවන පරිදි සංරක්ෂිත ගහනයක් වශයෙන් ශ්‍රී ලාංකික අලි ඇතුන් තිරසර ලෙස සංරක්ෂණය සිදු කිරීම ද පින්නවල අලි අනාථාගාරය මඟින් සිදු වේ.

 මේම අවස්ථාව සඳහා පින්නවල අලි අනාථාගාරයේ  නියෝජ්‍ය අධ්‍යක්‍ෂක මිහිරාන් මැදවල මහතා ,සත්වභාර නිලධාරී සංජය රත්නායක මහතා ඇතුළු  දෙස් විදෙස්  සංවාරකයින් පිරිසක් සහභාගී වුහ.