වැඩිහිටි සත්කාරක සේවාවන් පිළිබඳ තෙදින වැඩමුළුවක්

වැඩිහිටි සත්කාරක සේවාවන් පිළිබඳ තෙදින වැඩමුළුවක්
  • SocialShare:

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි අංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ  වැඩිහිටි නිවාසවල පාලක පාලිකාවන් සඳහා වැඩිහිටි සත්කාරක සේවාවන් පිළිබඳව තෙදින වැඩමුළුවේ පළමු දිනය ඊයේ (05) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල ආවරණය වන පරිදි වැඩිහිටි නිවාස එකොළහක් පවතින අතර වැඩිහිටි කාන්තාවන් 211ක් සහ වැඩිහිටි පිරිමින් 79 ක් එම නිවාසවල නේවාසිකව වාසය කරයි. ඔවුනගේ සුභසාධනය වෙනුවෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව ඊයේ  පටන් ගත් තෙදින වැඩමුළුවේ ප්‍රථම දිනයේ දී වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය පවත්වා ගැනීම ,නිවාසයේ ගිණුම් කටයුතු නිවැරදිව තබා ගැනීම, යහපත් කළමනාකරණය යන අංශයන් පිළිබඳව පැහැදිලි කෙරිණි. ඒ සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි ගයනි අනෝජා මෙනවිය එක්වූ අතර වැඩිහිටි නිවාස සම්බන්ධව විස්තර කිරීම සංවර්ධන නිලධාරි සෙව්වන්දි කාංචන මාලා මහත්මිය විසින් සිදු කෙරිණි.

තවද මෙම දැනුවත් කිරීමට එක් වූ කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී අයි එච් රාජපක්ෂ මහතා විසින් රෝගී වන වැඩිහිටියෙකු සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමේ වැදගත්කම පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දුනි.

ඊයේ දින වැඩමුළු අවසන් වූයේ රංවල වික්‍රමසිංහ වැඩිහිටි නිවාසයට ගොස් එම නිවස පිළිබඳව සිදු කළ ක්ෂේත්‍ර අධ්‍යයනයකින් පසුවයි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු එම අංශය එක්ව සංවිධානය කළ අතර සමාරම්භක අවස්ථාවට පරිපාලන නිලධාරිනී යාමිණි රත්නායක මහත්මිය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.