මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබාදෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබාදෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කරයි.

අග්‍රාමාත්‍යතුමිය මේ බව අවධාරණය කළේ පසුගියදා (28) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති  "බහු  පාර්ශ්වීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන"ට එක්වෙමිනි.

“මත්ද්‍රව්‍ය වැටලීම් තවත් එක් සංදර්ශනයක් නොවිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය  මේ සඳහා සියලු ආයතන සම්බන්ධිකරණය විය යුතු බවත් ඒ වගේම පුනරුත්ථාපන ක්‍රියාවලිය මීට වඩා ශක්තිමත්ව සිදු කළ යුතු බව වැඩිදුරටත්  පැවසුවාය.

ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පොදු මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මෙම අහිතකර බලපෑම අවම කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම උදෙසා,  මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා වගකීම දරණ සියළුම රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් "බහු  පාර්ශවීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන" අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  (28) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“මත්ද්‍රව්‍ය නිවාරණය අපේ ප්‍රමුඛතම අරමුණක් වෙනවා. මේ සඳහා නිසිපරිදි ක්‍රියාත්මක වීම වැදගත්. මේ සඳහා අවශ්‍ය විසදුම් නිසිපරිදි ගෙන එමින් මහපොළොවෙන්ම එය ඉවත් කිරිම අපේ අව්‍යශතාවය වෙනවා. ඒ සඳහා අදාළ සියළුම පාර්ශවකරුවන් අතර සම්බන්ධිකරණය කිරිම සහ ඒ සම්බන්ධිකරණයට බාධාවක් වන ගැටළු තිබේනම් ඒවා නිවැරදිව හදුනා ගැනිමත් ඒ්වාට විසදුම් ලබාදීමට ත් අවශ්‍යයි.

නිවාරනය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය වෙන්වෙන් වශයෙන් පවතින්න බැහැ කියලා මම දකිනවා. මේ තුන අතර අන්තර් සම්බන්ධතාවයක් අවශ්‍යයි. සමාජගතවෙලා තිබෙනවා මේක නීතියෙන් විසදන්න පුළුවන් කියලා. ඒක එහෙම බෑ. ඊට එහා ගිය සමාජ අර්බුදයක් මේක. නිවාරනය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය තුළ ඒ සමාජ අර්බුදය හරියට අවබෝධ කර ගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධීකරණයේදී ඔබ මුහුණ දෙන ගැටළු  සාකච්ජා කරලා විසදුම් ලබාදීමේ අරමුණින් මෙම සාකච්ජාව කරගෙන යනවා.

ආණ්ඩුවක් විදිහට අපි මේ සඳහා  ප්‍රමුඛතාවය ලබා දෙනවා. මහජන  නියෝජතයන් ලෙස අප වෙත මේ පිළිබඳව  හැමතැනකින්ම  ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. එම ඉල්ලීම් ඉතා බරපතලයි. මේ සඳහා  දේශපාලන අධිකාරිය පැත්තෙන් අපේ සම්පූර්ණ බර මේකට යොදවනවා. දේශපාලන පැත්තෙන්  අවශ්‍යය  සියළුම සහයෝගය ලබාදීමට කටයුතු කරනවා.”  යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය  වැඩිදුරටත් අදහස් දැක්වමින් සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධව කටයුතු කිරිමෙිදී මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරිම, මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරිම යන දෙයාකාරයෙන් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා පොලීසිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආයතන විසින් මත්ද්‍රව්‍ය සැපයුම අවම කිරිමි සම්බන්ධ වැටලීම්, අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම් ආදිය සිදුකරනු ලබයි. අනතරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා අනෙකුත් වගකීම් දරන ආයතන විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලියට  අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම සහ සැපයුම අඩාල කිරිම සම්බන්ධ වගකීමේ පාර්ශවයන් හා අනෙකුත් සියළු රාජ්‍ය ආයතනද ඒකාබද්ධ වූ යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරිම හරහා මත්ද්‍රව්‍ය ගැටළුව විසදීම සඳහා විධිමත් සැලැස්මක් ආරම්භ කිරිම මෙම වැඩසටහනේ  අරමුණයි.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ එක් එක් පොලිස් කොට්ඨාශ මට්ටමින් මේ වනවිට සිදුකර තිබෙන මත්ද්‍රව්‍ය වැටලීම්, අත් අඩංගුවට ගැනීම්, බන්ධනාගාරගතකිරිම්, පුනරුත්ථාපනගත කිරිම්, ප්‍රජා විශෝධන වැඩසටහන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරිම සහ පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව දිර්ඝව සාකච්ජා කරන ලදී. පාසල් අවට ප්‍රදේශතුළ මත්ද්‍රව්‍ය වෙළදාම බහුලව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බැවින් එ් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් උපදෙස් ලබාදුනි. ඒ අනුව, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සියළුම රාජ්‍ය ආයතන සම්බන්ධිකරණයෙන් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, පොලිසීය විසින් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරිම සහ ඒ සඳහා පොලිසියට සහාය අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීම සහ අනෙකුත් සියළුම රාජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණයක් පවත්වාගනිමින් සිද්ධි වලින් බැහැරව සමස්ත ක්‍රියාවලිය වෙත අවධානය යොමු කරමින් කටයුතු කර එහි ප්‍රගතිය මාසයක් ඇතුළත ලබාගැනිමටත් තීරණය විය.

මේ සඳහා  මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කංචනා ගුණවර්ධන මහත්මිය, බන්ධනාගාර කොමසාරිස්තුමා, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, ‍සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්කොළ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරිය, පුනරුත්ථාපන කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, කලාප අධ්‍යාපන කාර්යාල, ප්‍රධාන සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාංශ, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, අනතරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කාන්තා කාර්යාංශය යන ආයතන ප්‍රධානින්, සහකාර පොලිස් අධිකාරිවරුන්, සියළුම ස්ථානභාර පොලිස් නිලධාරින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ක්ෂ්‍රේත්‍ර නිලධාරින් සහභාගි විය.