විදේශගතව සිටින සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින විගමනික ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හඳුන්වා දුන් විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සහ සමාජ ආරක්‍ෂණ සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (13) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනී යාමිනි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකයා ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ සංවර්ධන නිලධාරී ඩී. එම්. එස්. කේ. කේ. දසනායක මහත්මා සහභාගි විය. මේ දක්වා "මනුසවි" විශ්‍රාම වැටුප ලෙස හඳුන්වා දී තිබූ විගමනික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය විසින් ගත් තීරණයකට අනුව "විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප" ලෙස නම් කර ඇති අතර එම විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව උක්ත නිලධාරින් දැනුවත්කොට ඔවුන් මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විදේශගතව ඇති සියලුම විදේශ රැකියාවල නියුක්තිකයන් දැනුවත් කොට වයස්ගත විගමනික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ගේ විශ්‍රාම දිවිය යහපත් ආකාරයෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කොට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිවයි මෙම වැඩමුළුව පැවැත්වුණේ.
විදේශ රටක රැකියාවකට යන සැමගේ විශ්‍රාම දිවියට සවිය, සතුට එක්කරමින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය මගින් වයස අවුරුදු 60න් පසුව ජීවිතාන්තය දක්වා මාසිකව විශ්‍රාම වැටුප, කලත්‍රයාට විශ්‍රාම වැටුප, විශ්‍රාම පාරිතෝෂික, ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ හිමිකම, ස්ථිර පූර්ණ අබලතා විශ්‍රාම වැටුප, මරණ පාරිතෝෂික යන ප්‍රතිලාභ භුක්ති විඳීමට විගමනික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හැකියාව ඇත. විශ්‍රාම වැටුප් සැලස්මට අදාළව එකවර ගෙවන්නේ නම් හෝ වසර 2ක් තුළ මාසික වාරික 24කින් (ත්‍රෛමාසික වාරික 08කින්), වසර 3ක් තුළ මාසික වාරික 36කින් (ත්‍රෛමාසික වාරික 12කින්), වසර 4ක් තුළ මාසික වාරික 48ක් (ත්‍රෛමාසික වාරික 16කින්) හා වසර 5ක් තුළ වාර්ෂික වාරික 5කින් මෙම මුදල් ගෙවිය හැකි වේ. ඊට අමතරව තම අභිමතය අනුව ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් ලබාගත හැකි වේ. එමෙන්ම (වසර 2, 3 හෝ 4ක කාලසීමාවක් තුළ වාරික ගෙවීමේ පදනමට සාමාජිකත්වය අයදුම් කරන සාමාජිකයින්ට ගිවිසගත් කාලසීමාව තුළ නියමිත වාරික ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ සහ පූර්ණ අබලතා ප්‍රතිලාභ හිමිකම ලැබේ)
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ සාමාජිකත්වය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ ශාඛාව,
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය යන ආයතනවලින් අයදුම් කළ හැකි වේ. මෙම වැඩමුළුව මගින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි උක්ත රාජ්‍ය නිලධාරීන්ට පැන නැගී ඇති ප්‍රශ්න ගැටලු හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් සපයා ගැනීමට හැකි සාර්ථක වැඩසටහනක් ලෙස නිමාවට පත්විය. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක නිලධාරිනි එස්. හේරත් මහත්මිය සහ එම අංශයේ සම්බන්ධීකාරක නිලධාරිනී ශෂිකලා මදුෂානි මහත්මීන් විසිනි. මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පුහුණුකරු, සංවර්ධන නිලධාරී ලංකා සුමනදාස මහත්මා ඇතුළු සමාජ ආරක්ෂණ අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.