මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන 16ක් සංවර්ධනයට සැලසුම්

මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන 16ක් සංවර්ධනයට සැලසුම්
  • SocialShare:

“දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන 16ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රජා නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩසටහනක් පසුගියදා (02) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් ලෙස දිවයින පුරා ගම්මාන 322ක් තෝරාගෙන සංවර්ධනය කිරීමට නියමිතය. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය සහ සමාජ යහපැවැත්ම, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය යන අංශ ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඵලදායිතා ලේකම් කාර්යාලය සහ “Clean Sri Lanka” මහ ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් මහතා සහ අජන්ත ගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තිලකරත්න මහතා, ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.