ලස්සන, පිරිසිදු සහ තිරසාර ඌවක් ගොඩනැගීමේ අරමුණින් ලෝක පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කළ "ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ"ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යාපෘති, සහතික හා සමරු තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (01) බදුල්ල පුරහලේදී පැවැත්විණි.
මෙම ශ්‍රම මෙහෙයුම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව ඇතුළු 130,986 දෙනෙකු සහභාගි විය.එහිදී ශ්‍රමදාන ව්‍යාපෘති 2,122ක් ක්‍රියාත්මක කරමින් රුපියල් මිලියන 168ක පමණ ශ්‍රම වටිනාකමක් රටට එක් කිරීමට හැකි වී තිබේ.
එදින රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය, පාසල්, පෙර පාසල්, පෞද්ගලික අංශය, වෙළෙඳ ප්‍රජාව සහ විවිධ ප්‍රජා සංවිධාන එක්ව නගර, පාසල්, රෝහල්, රාජකාරි ස්ථාන, කාර්යාල පරිශ්‍ර සහ අනෙකුත් පොදු ස්ථාන පිරිසිදු කරමින් පරිසර සංරක්ෂණයට දායක විය.
මෙම තරගයේ පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය දිනාගත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 68බී ග්‍රාම නිලධාරී වසම සඳහා රුපියල් ලක්ෂ 100ක සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රදානය කෙරිණි.
දෙවන ස්ථානය හිමිකරගත් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරහෙළ–21 ග්‍රාම නිලධාරී වසම සඳහා රුපියල් ලක්ෂ 75ක සංවර්ධන ව්‍යාපෘතියක් ද, තෙවන ස්ථානය දිනාගත් බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටකුඹුර–101ඒ ග්‍රාම නිලධාරී වසම සඳහා රුපියල් ලක්ෂ 50ක සංවර්ධන ව්‍යාපෘතියක් ද සහතික හා සමරු තිළිණ සමඟ ප්‍රදානය කෙරිණි.
මීට අමතරව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විශිෂ්ටතම ශ්‍රමදාන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කණ්ඩායම් ඇගයීමට ලක් කරමින් සංවර්ධන ව්‍යාපෘති, සහතික හා සමරු තිළිණ ප්‍රදානය කළ අතර, සමස්තයක් ලෙස ඌව පළාතේ ග්‍රාම නිලධාරී වසම් 63ක් සඳහා රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යාපෘති ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
මෙම වැඩසටහන මඟින් ප්‍රජා සහභාගීත්වය තුළින් පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම, පිරිසිදු හා හරිත ඌවක් ගොඩනැගීම සහ ප්‍රජා සංවර්ධනයට නව ජවයක් ලබාදීම අපේක්ෂා කෙරේ.
අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා සහ කිට්නන් සෙල්වරාජ් මහතා ඇතුලු දේශපාලන අධිකාරිය සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුශා ගෝකුල මහත්මිය, දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුලු ඌව පළාතේ රාජ්‍ය නිළධාරින් සම්බන්ධ විය.


