"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (04) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ බෝව වත්තේදී සිදු කෙරිණි.
නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන, නායයෑමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින වතු ජනතාවට සුරක්ෂිත හා ස්ථිර නිවාස පහසුකම් සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වැලිමඩ බෝව වත්ත ප්‍රදේශයේ නායයෑමේ තර්ජනයට ලක්ව සිටින පවුල් 19ක් සඳහා නව නිවාස 19ක් ඉදිකිරීමට නියමිතය. එක් නිවාස ඒකකයක් සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 28ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එක් නිවාසයක් සඳහා අමතර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක් ද වෙන් කර තිබේ.
මෙම වැඩසටහන මඟින් නායයෑමේ අවදානමට ලක්වූ වතු ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල ස්ථිර පදිංචි කරවීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ සුරක්ෂිත, තිරසාර ප්‍රජාවක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, අමාත්‍යාංශයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


