විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කෙරේ
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයේ විගමනික ප්‍රජාවගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීමේ අරමුණින් ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (04) ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූ ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා ඇගයීමට ලක් කරමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ සිසුන් 07 දෙනෙකුට රුපියල් 25,000 බැගින් ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුන් 26 දෙනෙකුට රුපියල් 35,000 බැගින් ද, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වී විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් සිසුන් 09 දෙනෙකුට රුපියල් 40,000 බැගින් ද ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

මීට අමතරව, දැනට විදේශ සේවයේ නියුතු ලියාපදිංචි ශ්‍රමිකයන්ගේ පාසල් වියේ පසුවන දරුවන් 51 දෙනෙකුට රුපියල් 1,000ක් වටිනා පාසල් උපකරණ කට්ටල ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා, ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මිය, හාලිඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත වරුසමාන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.