අධිකරණ ඇමතිවරයා ලෙස වගකීම බාරගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා

අධිකරණ ඇමතිවරයා ලෙස වගකීම බාරගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා
  • SocialShare:

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් වගකීම භාරගෙන පූර්ණ හා විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව අධි­ක­රණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැව­සීය.

ඊයේ(06) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රැඳවූවන් සහ බන්ධනාගාර නිලධාරීන් මියයාම පිළිබඳව දැඩි කම්පනයට පත්ව ඇති බවත්, මියගිය සියලු දෙනාගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවත්ය.

මූලික තොරතුරු අනුව, පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමක් උග්‍රවීමෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති බවත්, එය පාලනය කිරීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීන්ටද හානි සිදුව ඇති බවත්  අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, රැඳවූවන් අතට ආයුධ පත්වූ ආකාරය, ගැටුමට හේතු වූ කරුණු, කිසියම් අතපසුවීමක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවී තිබේද යන්න සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන අතර, පොලිස් විමර්ශනයක්ද ආරම්භ කර නිසි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගැටුමට සම්බන්ධ රැඳවූවන්ගෙන් කොටසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරමින් තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.