මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම  සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ
  • SocialShare:

2026 ජූලි 5 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන් පිරිසක් හා එයට විරෝධය දක්වන තවත් රැඳවියන් පිරිසක් අතර ඇති වූ කලහකාරී තත්ත්වයෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇති අතර, බන්ධනාගාරය අවට ආරක්ෂාව ද තර කර තිබේ.

පසුදින (ජූලි 6) බන්ධනාගාර නිලධාරීන් රාජකාරියේ නිරතව සිටියදී ඔවුන්ගේ රාජකාරියට බාධා කර පහරදීමත් සමඟ නැවත ගැටුමක් හටගෙන තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් මරණයට පත්ව ඇති බව සඳහන් වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මැදිහත්වී ගැටුම මැඩපවත්වා ඇති අතර, බන්ධනාගාරය තුළ පැවති කලහකාරී තත්ත්වය පාලනය කර ඇත.

ආරක්ෂක හේතු මත රැඳවියන් 700ක් පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති අතර, එම කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව පොලිසිය විසින් සපයා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, මීගමුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව විමර්ශන සිදු කරමින් සිටී.