වී මෝල් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. මේ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන අමාත්‍යවරු සහ කුඩා සහ මධ්‍යම, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහභාගී විය.
මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විමසා සිටියේ රජය විසින් ප්‍රකාශ කර ඇති මිලට වී මිලදී ගැනීමට ඇති බාධාවන් මොනවාද යන්නයි. ඒ සඳහා රජය පාර්ශවයෙන් කුමන ආකාරයක සහයෝගයක් අවශ්‍යදැයි විමසා සිටියේය.
මෙහිදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.
“මෙවර යල කන්නයේ අපි රුපියල් මිලියන 6000ක් වී මිලදී ගැනීමට වෙන්කර තිබෙනවා. කීරී සම්බා සාමාන්‍ය පරිභෝජනය 10%ත් 15%ත් අතර දෝලනය වෙනවා. සම්බා 7%ත් 10%ත් අතර. 80%ක් පරිභෝජනය කරන්නේ සුදු නාඩු සහ රතු නාඩු. අපි උත්සාහ කරනවා රජය තීරණය කරලා තියෙන මිල ගණන්වලට ගොවීන්ගෙන් වී මිලදී ගන්න තියෙන බාධාවන් මොනවද කියලා හඳුනාගන්න. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද අදහස් පළ කළේය.
“ඉන්ධන මිල වැඩි වීමත් එක්ක අස්වනු නෙලීමේ වියදම වැඩි වුණා. පොහොර මෙට්‍රික් ටොන් 62,000ක් රජය මැදිහත් වෙලා ගොවීන්ට බෙදා දුන්නා. පොහොර ප්‍රශ්නයේදී ගොවීව්ට යම් කිසි අස්වැසිල්ලක් ලබාදෙන්න පුළුවන් වුණාට අස්වනු නෙලීම සහ බිම් සැකසීම කාරණාවලදී ගොවියාට යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් පැන නැගුණා. ඉදිරියේදී පොහොර මිලත් ඉන්ධන මිලත් අඩුවේවි.”
අනතුරුව වී මෝල් හිමියන් සිය අදහස් පළ කළේය.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරිපත් කරන ලද යෝජනා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹිය හැකි බවයි.


