බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් බලපත්‍ර 1,841ක් පිරිනැමේ

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් බලපත්‍ර 1,841ක් පිරිනැමේ
  • SocialShare:

ඉඩම් බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ , රිදීමාලියද්ද, මහියංගණය, සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 1,841 දෙනෙකුට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) සාර්ථකව පැවැත්විණි.

ඌව පළාතේ දීර්ඝ කාලයක් පුරා ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය නීත්‍යානුකූලව තහවුරු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව එක්ව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

ඒ අනුව රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 744 දෙනෙකුට, මහියංගණයේ 451 දෙනෙකුට, සොරණාතොට ප්‍රදේශයේ 246 දෙනෙකුට, මීගහකිවුලේ 229 දෙනෙකුට, කන්දකැටියේ 141 දෙනෙකුට සහ බදුල්ල ප්‍රදේශයේ 30 දෙනෙකුට ඉඩම් බලපත්‍ර පිරිනැමිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, ඉඩම් හා වාරිමාර්ග ආයෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව විශාල පිරිසක් එක්වූහ.