ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මාතර නගරයේ ස්ථාන 89ක් පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (21) මාතර නගරයේදී පැවැත්විණි.
මාතර නගරය සහ දිස්ත්‍රික්කය ඩෙංගු අවදානමින් මුදවා ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව හඳුනාගත් ස්ථාන 89ක් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මිය පැවසුවේ, මදුරු බෝවන ස්ථාන ඉවත් කර මාතර පුරවරය ඩෙංගු උවදුරෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය සහ ජනතා දායකත්වය අත්‍යවශ්‍ය බවයි.
මෙම වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර මහ නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සහ නගර සභා මෙන්ම ආරක්ෂක අංශ ද එක්ව කටයුතු කළහ.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, මාතර මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.


