රාජ්‍ය සේවකයන්ට දීමනාවක් නොව මූලික වැටුප් වැඩිකිරීමක් සිදු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අයවැය තුන්වෙනි වර කියවීමේ අවසන් දිනය වන අද(21) විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි නොකර යම් දීමනාවක් ලබා දීමේ හැකියාව රජයට තිබූ බවත් එසේ නොකළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
" කිසිවෙක් බලාපොරොත්තු නොවූ විශාල වැටුප් වැඩිවීමක් ආණ්ඩුව සිදු කළා. ඕන්නම් ආණ්ඩුවට තිබුණා වැටුප් වැඩි නොකර යන්න.දීමනාවක් පමණක් දෙන්න. එතනදිත් අපි තීරණය කළා එතනත් වෙනස්ක් සිදු කළ යුතුයි. ඔවුන්ට වැටුප ලබාදෙන ගමන් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය වැඩිවෙනවා. ඔවුන්ට වඩා වැදගත් වන්නේ මූලික වැටුප වැඩිකිරීමයි.අපි තීන්දු කළේ මූලික වැටුප වැඩි කිරීමට. නමුත් අවාසනාවකට මෙම වැටුප් වැඩිවීම මිනිසුන්ගේ පඩි කපනවා කියලා සමාජයේ කතා බහක් නිර්මාණය වුණා. අපි ඒවා බැහැර කරනවා."