අප්‍රේල් 01, 2020
tami eng youtube  twitter facebook

    ලෝක ගුවන් විදුලි දිනය- වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක අවශ්‍යතාව මතුව තිබේ

    පෙබරවාරි 13, 2020

    ලෝක ගුවන් විදුලි දිනය අදයි (13). මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන ලද ගුවන් විදුලිය එදා මෙදා තුර ලොව පුරා ජනතාවට සැපයූ සේවාව අතිමහත්ය.

    මෙවර ලෝක ගුවන් විදුලි දින තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “විවිධත්වය” යන්න යි.

    පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වන දා වීමය. යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක් විය. මේ අනුව 2012 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පැවැත්වූ බව වාර්තා වේ.

    ආසියාවේ ප්‍රථම ගුවන් විදුලිය ශ්‍රී ලාංකකි අප සතුය . එසෙම බ්‍රිතාන්‍යන් විසින් තම භූමියෙන් පිටත පිහිට වූ ප්‍රථම ගුවන්විදුලිය ද ලංකා ගුවන්විදුලියයි. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය 1983 විවෘත කරනු ලැබුවේ ගිරාදුරුකෝට්ටේය. ලොව ප්‍රථම ළමා ගුවන්විදුලිය එනම් ”විදුල” ළමා ගුවන්විදුලිය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේය. ආදිවාසීන් සඳහා වෙනම ම ගුවන් විදුලියක් දඹානේ රේඩියෝව නමින් පිහිටුවා තිබේ. විවෘත ආර්ථික සමාජ පරිසරය නිසා මෙම ප්‍රජා නාළිකාවෝ අභියෝගයට ලක්ව තිබේ. මෙය කෙරෙහි විසඳුම් ලබා දීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව ද සඳහන් කළ හැකිය.

    මීට වසර සියයකටත් පෙර නිර්මාණය කරන ලද ගුවන් විදුලිය එතැන් සිට අපගේ පරිකල්පන ශක්තිය, ආලෝකවත් කරවීමටත්, වෙනසකට දොරටු විවෘත කිරීමටත් මෙන්ම දිවි රැක ගැනීමේ තොරතුරු සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් ද විය. ගුවන් විදුලියෙන් විනෝදාස්වාදය, අධ්‍යාපනය හා තොරතුරු සන්නිවේදනය වූයේ සන්නිවේදනයේ කාර්යයන් නිසි පරිදි ඉටු කරමිනි.

    අද්‍යතනයේ කෙටි තරංග මාලාවේ සිට එෆ්. එම්. දක්වාත්, චන්ද්‍රිකා සම්පේ‍්‍රෂණය දක්වාත් ගුවන් විදුලිය කොතැනක හෝ සිටින මිනිසුන් එකට එක් කරවයි.

    එක්සත් ජාතීන්ගේ ගුවන් විදුලි සේවාව චිරස්ථායී සංවර්ධනයේ සිට ළමයින් ආරක්‍ෂා කිරීම දක්වාත් සාම සාධනයේ සිට ගැටුම් වැළැක්වීම දක්වාත් එ. ජා. න්‍යාය පත්‍රය ඉස්මතු කර දක්වයි. එමෙන් ම භාෂා කීපයකින් වැඩ සටහන් නිෂ්පාදනය කිරීමට, ලොව දැනුවත් කිරීමට සහ සේවය කිරීමට ගුවන් විදුලිය යොදා ගැනීමේ නව්‍යතාවන් පිළිබඳ අපගේ ඉතිහාසය ගැන අපි ආඩම්බර වන්නෙමු. මෙම ලෝක ගුවන් විදුලි දිනයේ දී ගුවන් විදුලියේ බලය සමරන අප සාමය, සංවර්ධනය හා සියලු දෙනාටම මානව අයිතිවාසිකම් සඳහා එකම තරංග මාලාවකට යොමු වීමෙන් එකට එක්ව වැඩ කරමු.

    නව මාධ්‍ය පැමිණිය ද පරිකල්පනය අවදි කිරීමට ගුවන්විදුලියට ඇති හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකට නොමැත. ගුවන්විදුලිය සැළකෙන්නේ පෞද්ගලිකව ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වශයෙනි. ග්‍රාහකයෝ හුදකලාව පණිවුඩ ග්‍රහණය කර ගනිති. එම පණිවුඩ තේරුම් ගන්නේ මනසේ ගොඩනගා ගන්නා මනෝ චිත්‍ර අනුවය. එම මනෝ චිත්‍ර ගොඩනගන්නේ ශබ්ද මාධ්‍ය මගිනි. එබැවින් ගුවන්විදුලි භාෂාව භාවිත කිරීමේදී ග්‍රාහක මනසට ආමන්ත්‍රණය කළ යුත්තේ ග්‍රාහක පරිකල්පනය වර්ධනය වන ආකාරයෙනි.

    ගුවන්විදුලි භාෂාව යනු මිනිස් හඬ, සංගීතය හා බාහිර ශබ්ද සංකලනයෙන් ගොඩනැගෙන්නකි. ගුවන්විදුලි මාධ්‍ය සරල වූවකි. එහෙත් ග්‍රාහක ආමන්ත්‍රණය සරල වූවක් නොවේ. එය මැනවින් ප්‍රගුණ කළ යුතු කුසලතාවකි. ඕනෑම අයෙකුට ගුවන්විදුලියෙන් කතා කළ හැකිය. එහෙත් සියල්ලෝ ගුවන්විදුලි මාධ්‍යවේදිහු නොවෙති. එසේ වන්නේ ගුවන්විදුලි ආමන්ත්‍රණ කලාව තේරුම් ගෙන නොමැති බැවිනි. ගුවන්විදුලි කථනය කන්කරච්චලයක් බවට පත් වන්නේ මෙම ආමන්ත්‍රණ විලාසය තේරුම් නොගත් කථකයන් නිසාය.

    මාධ්‍ය ඔස්සේ සත්‍ය ඉදිරිපත් කිරීම ද ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ජන කණ්ඩායම් ඒකාබද්ධ කරමින් සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන ධනාත්මක සංවාද පැවැත්වීමේ අද්විතීය හැකියාව ගුවන්විදුලි මාධ්‍යය සතු බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. අප ලෝක ගුවන්විදුලි දිනය සමරන්නේ මෙවැනි පුළුල් පසුතලයකය.

    ගුවන්විදුලිය හඳුන්වන්නේ ලාභදායී මාධ්‍යයක් ලෙසත් දුප්පතාගේ මාධ්‍යයක් ලෙසත් ය. එමෙන් ම අතිශය ආකර්ෂණීය මාධ්‍යයකි. එසේම සමීප සුහද මාධ්‍යයකි. ලෝ වටා ගුවන්විදුලි මධ්‍යස්ථාන 44000කට වඩා පවතින බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. එම ගණනය කිරීමට වෙබ් ගුවන්විදුලි නාළිකා ඇතුළත් නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් ගුවන්විදුලි යන්ත්‍ර තිබේ.

    මෙයින් පැහැදිලි වන්නේ ලොව කවර තැනක වුවද ජනතාව ග්‍රහණය කර ගත හැකි මාධ්‍යයක් බවට ගුවන්විදුලිය පත්ව ඇති බවයි. සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් ඇ‌ෙමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරන වාහකයක් ලෙස ගුවන්විදුලිය හඳුනාගෙන තිබේ. මෙම පසුතලය යටතේ ලෝක ගුවන්විදුලිය මූලික අරමුණ වී ඇත්තේ ගුවන්විදුලිය සතු අද්විතීය ශක්තිය භාවිත කරමින් ලොව සෑම කෙළවරකම සිටින ජනතාව සජීව ලෙස ස්පර්ශ කරමින් ඔවුන් ඒකරාශී කිරීමයි.

    ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීය. යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක්කර තිබේ. මෙම අරමුණ සඳහා 95%ක කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබිණි. ආසියා පැසිපික්, අරාබි, අප්‍රිකා, කැරිබියානු, උතුරු ඇ‌ෙමරිකානු අන්තර් ජාතික ගුවන් විදුලි සංගමයේ සහයෝගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියෝය.

    දැනට අප අත්විඳින්නේ විවෘත ආර්ථික පරිසරයක පවතින ගුවන්විදුලියකි. ප්‍රාදේශීය, ප්‍රජා ගුවන්විදුලි නාළිකා ගුවන්විදුලි සංස්ථාව සතුව තිබේ. වාණිජ ගුවන්විදුලි නාළිකා සංඛ්‍යාත්මකව වර්ධනය වෙමින් තිබේ.

    ස්වාධීනව ජාතික අනන්‍යතාවට ගැලපෙන අයුරින් රන්ගිරි, බෞද්ධයා හා ශ්‍රද්ධා නමින් බෞද්ධ ආගමික ගුවන්විදුලි නාලිකා 3ක් ද අප සතුය.

    ගුවන් විදුලිය ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කර ගැනීමේ හැකියාව අප සතුව තිබෙන ප්‍රධාන අභියෝගයකි. මෙහිදී රාජ්‍ය මෙන් ම පෞද්ගලික ගුවන්විදුලි නාළිකා මෙහෙයවන ප්‍රවීණ අත්දැකීම් සහිත පරිපාලකයන් මෙන් ම කුසලතා පූර්ණ තරුණ නිෂ්පාදකයන් නිවේදක නිවේදිකාවන් පිරිසක් සිටින බව ද බලාපොරොත්තු සහගතව ප්‍රකාශ කළ හැකිය. අවශ්‍ය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක ජාතික ප්‍රශ්න විසඳීම එනම් සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා පෙර ගමන්කරු වීමේ ගුවන්විදුලි මාධ්‍යයට ඇති හැකියාව සහ නිවැරදිව මෙහෙයවීමේ දිශානතිය සියල්ලන් විසින් අවබොධ කර ගැනීමයි. එහිදී වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක අවශ්‍යතාව මතුව තිබෙයි.

    මනෝජා සමරනායක

     

     

     

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya