අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආඝාත දිනය අදයි

    පෙබරවාරි 15, 2020

    ජාතික ආඝාත දිනය යෙදී තිබෙන්නේ පෙබරවාරි මස 15 වැනිදාට යි. බෝනොවන රෝගයක් වන ආඝාතය ලොව පුරා සිදුවන මරණවලට සහ ආබාධිත බවට තුඩුදෙන තුන්වන හේතුව ලෙස යි  සැලකෙන්නේ. සෑම පුද්ගලයන් හයදෙනකුගෙන් එක් අයකුට ජීවිතයේ එක්වරක් හෝ මේ තත්ත්වයට පත්වීම සිදුවිය හැකි යි. කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් ආඝාත රෝගීන්  බවත් මෙරට මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි ආඝාත රෝගීන් හඳුනාගෙන තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය සඳහන් කරනවා.

    ලංකාව වැනි අඩු ආදායම්ලාභීන් හෝ මධ්‍යම ආදායමක් සහිත පුද්ගලයන් වෙසෙන රටවල් අනෙකුත් දියුණු රටවල වෙසෙන පුද්ගලයින් ආඝාතයට ගොදුරුවනවාට වඩා වැඩි ප්‍රවණතාවයකින්  ආඝාතයට ගොදුරුවන බව යි හෙළිවී තිබෙන්නේ. බොහෝ විට දුප්පතුන් ගොදුරුකරගන්නට පැමිණෙන සතුරෙකු වන මේ රෝගය කලු සමක් ඇති පුද්ගලයන්ට වැඩිපුර පීඩාකරන බව ලොව පුරා ඇති දත්තයන් මගින් සනාථ වී තිබෙනවා. එයට හේතුව ජානමය වශයෙන් බලපාන්නක් නමුත් අනෙක් අතට ලොව කලු ජාතිකයින් වැඩිපුර පීඩාවට පත්වන්නන් හා නොසැලකිල්ලට  බඳුන්වන්නන් සේ සැලකෙන බැවින් කලු සුදු භේදය පවතින තැන්වල ද මේ ප්‍රශ්නය ද ඊට බලපෑ හැකි යැයි අනුමාන කරයි. අවාසනාවකට මෙන් අඩු ආදායම්ලාභී රටවල් මෙන් ම මධ්‍යම  ආදායම්ලාභී රටවල ආඝාත රෝගයට ඇති අවධානය සහ රෝගීන්ට ඇති පහසුකම් මද බැවින් ආඝාතය නිසා මරණයට ගොදුරුවන ප්‍රමාණයද ඉහළ යි. එහෙත් මේ අවාසනාවන්ත රෝගය වෙනුවෙන් අප සැමදෙනම එක්වී කිසියම් දෙයක් නොකළහොත් ඉදිරි දෙවසර තුළ ආඝාත ව්‍යසනයෙන් මරණයට පත්වන සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තුගතව තිබේ. එහෙත්  ආඝාතයෙන් මිදීම සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ඉදිරි වසර දහය තුළදී ජීවිත මිලියන හතක් බේරා ගැනීමේ අවස්ථාව උදාවනු ඇති.

    මේ පිළිබඳ ව අදහස් දක්වන ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පවසන්නේ: “සෑම 4 දෙනෙකුගෙන් එක් අයකුට ම ආඝාතය වැළදීමේ ඉඩ පවතින බවත්  රෝහල්ගත කරන ආඝාත රෝගීන්ගෙන් 6%ක් ඉක්මනින් මියයන අතර 16%ක් මසක් වැනි කෙට් කාලයක් ඇතුළත මියයන බව යි. එබැවින් වැරදි ජීවනරටාවලින් මිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම  අනුගමනය කිරීමේ වැදගත් වන බව යි ඔහු පෙන්වා දෙන්නේ ”.

    කෙසේ වෙතත් අප මේ ගැන වඩාත් අවදානය යොමු කළ යුතු වන්නේ අප රටේ ජනතාව ආඝාතයට ගොදුරුවීමේ අවධානම ලෝකයේ අනෙකුත් රටවලට වඩා ඉහළ ප්‍රවණතාවක් ගන්නා  බැවිනි. එමෙන් ම නොදැනුවත්කම, සෘණාත්මක ආකල්ප සහ වැඩි අවධානයක් යොමු නොකිරීම වැනි හේතු මේ රෝගීන් රැකබලා ගැනීමට බාධාවක් ව පවති යි. එමෙන් ම අවසනාවකට  මෙන් ලංකාවේ රෝහල්වල ආඝාත රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආඝාත ඒකක ඉදිවී නොපවතින අතර දැනට ඇත්තේ ආඝාත ඒකක 10 ක් පමණ. ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා  ආඝාත ඒකක අවශ්‍ය වනුයේ මෙය කිසියම් සැලැස්මක් අනුව රෝගියා නැවත සමාජගත කළ හැකි තෙක් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම පිණිස සකස්කොට ඇති ක්‍රමවේදයක් වන බැවින්.

    හදිසියේම ශරීරයේ එක් පසෙක මුහුණ හෝ කකුල හෝ අතක පයක හිරිවැටීම, පණ නැතිවීම, සිහිකල්පනාවේ වෙනසක් ඇතිවීම, කතා කිරීමේ අපහුතාවක් හෝ කෙනෙකුගේ කතාව වටහා  ගැනීමට අපහසු තත්ත්වයක් දැනී ඇත්නම්, මෙන් ම ක්ෂණික ව ඇතිවන පෙනීමේ වෙනස හෝ බොඳවී යාම, ක්ෂණික ව ඇතිවන තද හිසරදය ආදී තත්ත්වයකට මුහුණ දෙයි නම් එය ආඝාතයේ  පෙරනිමිත්තක් බව යි විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ සඳහන් කරන්නේ.

    එවන් තත්ත්වයක් ඇති වූ වහාම පැය තුනක් ඇතුළත ප්‍රධාන රෝහලක් වෙත රෝගියා ගෙන ආවේ නම්, මොළයට රුධිරය සපයන නාලයක සිරවී මේ ලක්ෂණ මතුකිරීමට හේතුකාරක සපයන  රුධිර කැටිය දියකර යැවිය හැකි එන්නතක් ලබා දෙනු ඇත. රෝගියාට ඇතිවිය හැකි සංකූලතා අවම කර ඉක්මනින් රෝහලෙන් පිටව යන්නට උපකාර කරන ඒ ප්‍රතිකාර ක්‍රමවේදය ක්‍රියාත්මක  කිරීමේ හැකියාව පවතින්නේ හැකි තාක් ඉක්මණින් රෝහල් ගතකිරීමෙන්. එහෙත් පැය තුන පසුවී රෝහලට ගෙන ආවත් ඒ රෝගීන් හරවා යැවීමක් සිදුනොවන අතර ඔවුන්ට ද ප්‍රතිකාර කිරීම  සඳහා බාරගත්තත් පැය තුනට කලින් ගෙ ආ රෝගියාට මෙන් නොව වැඩි කළක් රෝහල් ගතව සිටින්නටත් යම් යම් ආබාධ සහිතව. එහෙත් ජීවිතය බේරාගන්නටත් හැකියාව පවතිනවා.

    මේ පිළිබඳ ව අදහස් දක්වන ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න සදහන් කරන්නේ: “ආඝාතයකදී සිදුවන්නේ මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල වීම  නිසා එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අහිමිවීම හේතුවෙන් එම ප්‍ර‍දේශයේ ස්නායු සෛල මිය යාම. සෛල මිය ගිය පසු මොළයේ එම ප්‍රදේශය මගින් ක්‍රියාකාරී  වන අවයව නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි වන සේ අක්‍රිය වෙනවා. ආඝාතයට ලක් වූ අයට සදාකාලික ආබාධ ඇතිවන්නේ ඒ හේතුව නිසාවෙන්. ආඝාතයක් ඇතිවන්නට බලපානු ලබන  ශාරීරික හේතු කවරේද යන්න දැන සිටීම හැමවිටම ඔබට ප්‍රයෝජනවත්. කිසියම් පුද්ගලයකුට හෘදයාබාධයක් ඇතිවෙන්නට පළමු සතියේ රෝග ලක්ෂණ පහළ වී එය දැනුම් නොදෙන්නාසේම  ආඝාතය ද හදිසියේ ඇතිවන තත්ත්වයක්. එහෙත් ආඝාතයක් ඇතිවෙන්නට පළමු කිසියම් දිනකදී සුළු ආඝාත තත්ත්වයක රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙනවා. අප එය පුංචි ආඝාත  තත්ත්වය වශයෙන් හඳුන්වන සුලු ආඝාතයයි. එහිදී අදාල රෝග ලක්ෂණ මතුවී පැයක් ඇතුළත සම්පූර්ණයෙන් ම සුවවෙයි”.

    පුංචි ආඝාතය යනු මරණයට හෝ ස්ථීර ආබාධිත තත්ත්වයට හේතුවන ලොකු ආඝාතයක පෙර නිමිත්තක් බවයි. එහෙයින් පැය 24කින් සුව වූ පමණින් එය එතැනින් අවසන් වේ. එයින් දිනයක්  දෙකක් හෝ සතියක් මාසයක් ඇතුළත ඉක්මනින් ආඝාතයකට ගොදුරුවීමේ ඉඩ කඩ ගැන ඉඟිකරන ඒ පුංචි ආඝාතය හඳුනාගත් වහාම ඒ ගැන ක්‍රියාත්මක වන්නට වගබලා නොගතහොත් ඔබ  නොදැනීම දෙවැනිවර ආඝාතයට ලක්වීම සිදුවන්නට ඉඩ ඇත. නමුත් හැමදෙනාටම සුළු ආඝාත තත්ත්ව ඇතිවී එයින් පසුව දෙවන ආඝාතයක් ඇතිවේ යැයි පැවසිය නොහැකිය. එක්වරම වුවද  යම් අයෙකුට ආඝාතය මතුවිය හැකි බව අමතක නොකරන්න. ආඝාතය ඇතිවීමට රුධිර කැටියක් සිරවීම ප්‍රමාණවත් විය හැකිවාක් මෙන් ම මොළය තුළ ලේ නහරයක් පිපිරීමද බලපෑ හැකිය.  දැන් අප මේ හේතු මතුකරමින් ආඝාතය කැඳවන අනෙකුත් රෝග මොනවාද යන්න පිළිබඳව ද දැනුම්වත් වීමයි වැදගත්. මේ සාධක ද කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකි යි. ඒ අපට වෙනස්  කළ හැකි හා වෙනස් නොකළ හැකි හේතු වශයෙනි. වෙනස් කළ හැකි හේතු සම්බන්ධයෙන් කතාකළහොත් අධික රුධිර පීඩනය එයින් ප්‍රධානතම එකය. ලේවල අධික මේදය නැතිනම්  කොලෙස්ටරෝල අධිකතාව දෙවැන්නයි. තෙවැන්න දියවැඩියාවයි, එමෙන් ම හදගැස්මේ අසාමාන්‍යතාවන්, දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මද බව, අධික මත්පැන් පානය, සෞඛ්‍ය  සම්පන්න නොවන ආහාර එයින් ප්‍රධානය. අපට වෙනස් නොකළ හැකි හේතු සම්බන්ධයෙන් කතාකළහොත් වයස අවුරුදු 65 ට වැඩි වීම, පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම,  ඉහත අවස්ථාවකදී පුංචි ආඝාතය සෑදී තිබීම සැළකිය හැකි යි.

    ආඝාත අවධානම අඩුකර ගැනීමට නම් අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝලතාව සහ දියවැඩියාව යන සියලුම අවදානම් තත්ත්වයන්, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් අනුගමනය  කිරීමෙන්, නිරතුරුව ශාරීරික ව්‍යායාම්වල යෙදිමෙන් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කරගත හැකි යි. එහෙත් හද ගැස්මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙනම අවධානයක් දැක්විය  යුතුයි. Atrial Fibrillation ( AF) යනු හදගැස්ම ක්‍රමානුකූලව සිදු නොවෙන රෝගයක්. මෙය ඕනෑම වයස් සීමාවකදී ඇති විය හැකියි. එහෙත් වයස්ගත පුද්ගලයන් අතර වඩාත් බහුල යි. අධික  රුධිර පීඩනය, හෘද රෝග සහ පෙණහලු රෝග ඇති අය අතර වඩාත් බහුල වෙයි. මෙවන් තත්ත්වයක් ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත අදාල ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්.  දුම්පානය කරන්නේ නම් අදම එයින් ඈත්විය යුතු බව මතක් කර සිටින්නේ මොළයේ ලේ ගමනාගමනය අවහිරවීමට හේතුවන ලේ නහරවල වෙනස්කම් බොහොමයක් දුම්පානය නිසා ඇතිවෙන  බැවින්. එමෙන් ම අධික මත්පැන් පානය ඔබගේ ආඝාත අවදානම 50%කින් වැඩිකරන බැවින් හැකිතාක් එයින් ද ඈත් වන්නට වග බලා ගත යුතුයි. කෙසේ නමුත් ආඝාතවලින් 80% ක් පමණ  වළක්වා ගත හැකියි. ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මකට නතුවීම ආඝාතය වැළැක්විය හැකි හොඳම මාර්ගය යි.

    දුම්පානය නවත්වා අධික මත්පැන් පානය නවත්වා ක්‍රියාකාරී දිවි පෙවතකට හුරු වී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවන්නේ නම් මානසිකව වඩාත් සැනසිලිදායක ජීවිතයකට පිවිසිය හැකි  නම්, ඔබට ආඝාතයෙන් පමණක් නොව බෝ නොවන රෝගවන දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා යනාදියෙන් ද වැළකිය හැකි යි. අනෙකුත් බෝ නොවෙන රෝග  තත්ත්වයන් තිබේද යන්න පරීක්ෂණයට ලක්වී නිවැරදි ලෙස රෝග තත්ත්වයන් තහවුරු කරගැනීම යි වැදගත්. රෝග තත්ත්වයන් දැනටමත් ඔබ වෙත පවතී නම් පළමු ව ඒවාට ඖෂධ ප්‍රතිකාර  ලබාගන්නා අතර කුමන හෝ ව්‍යායාමයක යෙදෙමින් ශාරීරිකව එම රෝග සුවකර ගැනීම යි වැදගත්. නිවැරදි ශරීර ස්කන්ධ දර්ශකය තුළ සිටී දැයි උස හා බර මැන බලා තහවුරු කර ගැනීම ද  වැදගත්. ආඝාතය වළක්වා ගැනීමට ඇතැම් ඖෂධ වර්ග භාවිතය වැදගත්. ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක්. මෙයින් ඔබට දිය හැකි වඩාත් ඵලදායක ආරංචිය වනුයේ  ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ආඝාතයේ රෝග ලක්ෂණ යැයි සැක කෙරෙන අප පැවසූ ලක්ෂණවලින් කිහිපයක් හෝ ඇතිවුවහොත් සියල්ලම රෝග ලක්ෂණ මතුවන තුරු යැයි බලා නොසිට  වහාම ලඟම ඇති රෝහලට යන්න එයින් ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල නිසි ප්‍රතිකාර මගින් අවම කර මරණය වළක්වා ගැනීමේ හැකියාව උදාවෙයි. ආඝාතයට බටහිර ප්‍රතිකාර  නැතැයි යන්න මිත්‍යාවක්. ආඝාතය සම්බන්ධයෙන් දැන් නවීන හා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් පවති යි. රෝගියාට ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් ද මේවන විට අවම කරගන්නට  ක්‍රමවේදයක් බටහිර ප්‍රතිකාරවල අන්තර්ගතව පවති යි.

    මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya