මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධිමත් ජීවන රටාව පිළිකාව අවම කරයි

    පෙබරවාරි 17, 2020

    “මම අපි වෙනුවෙන් අද මෙන්ම හෙටත්’ යන තේමාව යටතේ මෙවර ලෝක පිළිකා දිනය සමරනු ලැබීය.


    ලෝකයේ සෑම විනාඩියකටම 17 දෙනෙක් පිළිකාව හේතුවෙන් මිය යන නිසා පිළිකාව වැළැක්වීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබාගැනීමේ අරමුණින් මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබුණි.
    ලෝකයේ ඉහළ මරණ අනුපාතිකය රුධිරවාහිනී සහ හෘදය වස්තුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව හඳුනා ගෙන ඇත. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ මුළු මරණ සංඛ්‍යාවෙන් 40% කි. දෙවන ස්ථානය පිළිකා නිසා සිදුවන මරණ ලෙස හඳුනාගෙන ඇත. එනම් මුළු මරණ සංඛ්‍යාවෙන් 10% ක් පිළිකාව නිසා සිදුවේ. එය දිනකට 38 ක් වන අතර වාර්ෂිකව 14,000 කි.


    ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රධානතම පිළිකා වර්ග ලෙස පියයුරු පිළිකා, මුඛ පිළිකා, පෙනහළු පිළිකා, තයිරෝයිඩ් ග්‍රන්ථය, ගලනාලය, අමාශය ආශ්‍රිතව ඇතිවන පිළිකා, ගැබ් ගෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, අක්මා පිළිකා සහ ලියුකේමීයාව යන පිළිකා වර්ග 10 හඳුනා ගෙන ඇත.


    ඒ අතර පුරුෂ පක්ෂයට බහුලව වැළඳෙන පිළිකා ලෙස මුඛ පිළිකා, පෙනහළු පිළිකා, ගලනාල පිළිකා සහ මහා අන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන පිළිකා හඳුනාගෙන ඇති අතර කාන්තාවන්ට බහුලව වැළඳෙන පිළිකා ලෙස පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකා හඳුනාගෙන ඇත.
    මෙම පිළිකාවලින් 1/3 ක් මුලදී හඳුනා ගතහොත් වළක්වා ගත හැකි අතර මූඛ පිළිකා,පෙනහළු පිළිකා, පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා ඉන් විශේෂිතයි. ඒ අනුව වළක්වා ගත හැකි පිළිකා වළක්වා ගැනීම සහ පිළිකා කල් ඇතිව හඳුනාගැනීම සහ අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම තුළින් පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අවකාශ ඇත.


    මේ සඳහා පිළිකා රෝගීන් රැක බලා ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට සෑම පළාතක්ම ආවරණය වන පරිදි ප්‍රධාන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ 24 ක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කොතලාවල රෝහලේ එක් මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන 25 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇත. මෙම මධ්‍යස්ථානවලින් නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 50 කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇත. මේ නිසා ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට පැමිණීම වෙනුවට තමාට ආසන්නව පිහිටා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුවීමට පහසුකම් සලසා ඇත.


    සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට (Healthy Diet) යොමුවීම මෙහිදී අතිශයින් වැදගත්වේ. විශේෂයෙන්ම පියයුරු පිළිකා, මහා අන්ත්‍ර පිළිකා සහ අග්න්‍යාස පිළිකා සඳහා මෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳිමේ ප්‍රධාන හේතුව අවිධිමත් ආහාර රටාව බවට තහවුරු වී ඇත. කෘතිම පොහොර වර්ග භාවිතයෙන් තොරව වගා කරන එළවළු, පළතුරු සහ පලා වර්ගවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඒවාට පිළිකා සෛල නැසීමේ හැකියාව ඇත. ඒ අනුව අවම වශයෙන් දිනකට එළවළු සහ පළතුරු වර්ග පහක් (05) පමණවත් ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ.

    එමෙන්ම තිරිඟු පිටි ආශ්‍රිතව නිපදවන සියලුම බේකරි නිෂ්පාදනවල සීනි භාවිතය ඉහළ මට්ටමක පවතී. මෙම ආහාරපාන පරිභෝජනය තුළින් ශරීර ස්කන්ධ දර්ශකය වැඩිවිමට හේතුවේ. මේ නිසා ළමයෙකු ඉපදී අඩුම වශයෙන් මාස 06 ක් හෝ යනතුරු මව් කිරි ලබාදීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මහජනතාවට මිළදී ගැනීමට පහසුවන පරිදි පළතුරු සහ එළවළු සඳහා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, උපදේශන සේවා ලබා දීම ආදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙහිදී වැදගත් වේ.


    මේ වනවිට ආහාරවල සීනි ප්‍රතිශතය හඳුනා ගැනීමට පහසුවන සේ වර්ණ සංඥා (Traffic Light) ක්‍රමයක් සහ ඝන සහ ඝන නොවන ආහාරවල අඩංගු ලුණු සහ මේද ප්‍රමාණය හඳුනා ගැනීමට වර්ණ කේත (Colour Code) ක්‍රමයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ හරහා ලුණු සහ මේදය අඩු ආහාර අනුභව කිරීමට ජනතාව පෙළඔවීමට පියවර ගෙන ඇත. වායු දූෂණය ද පිළිකා වැළඳිමට එක් හේතුවක් වී ඇති අතර එයට පිළියමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් එළිමහනේ පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කර ඇත.


    ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් බවට ද හඳුනා ගෙන ඇත. පෙනහළු පිළිකා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා වර්ග 07 ක් ව්‍යායාම්වල නිරත වීමෙන් වළක්වා ගත හැකි බවට වෛද්‍යවරුන් විසින් මේ වනවිට තහවුරු කරගෙන තිබේ. මෙහිදී එක් එක් පුද්ගලයාට ගැලපෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

    පදිංචි ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ඇවිදින මංතීරු භාවිතය, සේවා ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙල භාවිතය මෙන්ම ඔරු පැදීම, කඳු නැගීම වැනි කණ්ඩායම් ක්‍රීඩාවල නිරතවීම පිළිකා වැළඳීමට ඇති ප්‍රවණතා අඩු කිරීමට හේතු බව මේ වනවිට තහවුරු කරගෙන ඇත.

     

    දයානි මුණසිංහ
    ප්‍රවෘත්ති නිලධාරී
    ප්‍රචාරක අංශය
    (ලෝක පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ජාතික පිළිකා මර්දන වැඩසටහන ඒකාබද්ධව සංවිධානය කරන ලද පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ඇසුරෙනි)

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya