මෙම වසරේ සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

මෙම වසරේ  සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් අද (26) පෙරවරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.
එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණි අතර ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබේ.
මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි. 2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.
දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි.ඒ 252,033කි.
විදේශ සංචාරකයන් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම‍‍, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ ඇත.
රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමට ද රජය කටයුතු කර ඇති අතර ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.