සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන "SME Nexus" 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව නිල වශයෙන් එළි දැක්වීම පසුගියදා (13) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" දැක්මට අනුව සකස් කර ඇති මෙම සැලැස්ම, ව්‍යවසායකයාගේ එදිනෙදා දිවි පැවැත්මේ සිට ඉහළ වර්ධන විභවයක් ඇති අපනයන අභිමුඛ ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය කිරීමට මඟ පෙන්වයි.
එසේම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම මූලික උපායමාර්ගික දැක්ම සහ කුළුණු 11ක් පදනම්ව ගොඩනැගෙන අතර ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
තාක්ෂණික සහ ඩිජිටල් සවිබල ගැන්වීම: ඒකාබද්ධ SME දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීම,ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආයතන සියල්ල එක් ජාතික අරමුණක් කරා ඒකාබද්ධ කිරීම,'තනි කවුළු' (Single-window) සේවා මධ්‍යස්ථාන සහ 'SME Connect' ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාර්යක්ෂම සේවා සැපයීම,ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සහ ලියාපදිංචිය සරල කිරීම,දේශීය නිෂ්පාදන ගෝලීය අගය දාමයන් (Global Value Chains) වෙත සම්බන්ධ කිරීම,SIBA ඒකකය හරහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ වෙළඳපල පර්යේෂණ සහාය ලබා දීම,බැංකු, වාණිජ මණ්ඩල සහ නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීම,සංවර්ධන නිලධාරීන් 'සබඳතා නිලධාරීන්' (Relationship Officers) ලෙස පුහුණු කර ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දීම,ණය සුදුසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා 'වර්ධන අරමුදලක්' (Growth Fund) ස්ථාපිත කිරීම, පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව චින්තනය ප්‍රවර්ධනය කිරීම, ව්‍යවසායන්ට බාධාවන නීති සහ නියාමන ප්‍රතිසංස්කරණය කිරීම මෙම උපායමාර්ගික රාමුව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
මෙම රාමුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුව ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් සිදු කර ගැනීමටත්, නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමටත්, විශේෂිත මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව හිමිවේ.විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන උපදේශන සේවාවන් මෙහිදී නොමිලේ ලබා ගත හැකිය.
මෙම ජාතික වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත් සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරයි.
මෙරට ලියාපදිංචි සමස්ත ව්‍යාපාරවලින් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වන අතර දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබා දේ.


