ජාතික රණවිරු දින සැමරුම් උත්සවය මෙම මස 19 වැනිදා පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන (විශ්‍රාමික) මහතා පවසයි.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගත වූ කාලවකවානුව තුළ මෙන්ම යුද්ධ සමයේදී මෙරට නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් තම ජීවිත පුද කළ රණවිරුවන් වාර්ෂිකව සිහිපත් කර ජාතියේ ගෞරවය පුද කිරීමට මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන බවද ඔහු පැවසීය.
පසුගිය වසරවල මෙන්ම මෙවරත් සම්ප්‍රදායික ආකාරයෙන් සැමරුම පැවැත්වෙන අතර, විශේෂ වෙනස්කම් කිහිපයක්ද එක් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙවර සැමරුමේදී රණවිරුවන්ට මෙන්ම තම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි වශයෙන් සහභාගී වීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවද ඔහු පැවසීය.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශයවල සිිටින ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වන අතර, ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ටද සහභාගී වීමට විශේෂ අවස්ථාවක් ලබාදී ඇතැයි ද පැවසීය.
රණවිරු දින සැමරුමේ සැලසුම් කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කළ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ එල්.එම්.සී.බී. නිශ්ශංක මහතා සඳහන් කළේ, ආරාධිත අමුත්තන් ඇතුලුව යුද, නාවික, ගුවන් හමුදා, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණවිරු සේවා අධිකාරිය සහ රණවිරු දෙමාපියන් ඇතුළු 2,769 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වන බවයි.
එසේම රණවිරු දෙමාපියන් 160 දෙනෙකුට විශේෂ ආරාධිත අමුත්තන් සමඟ රණවිරු ස්මාරකය වෙත ගොස් මල් කළඹ පුජා කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


