Silver Screen සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

 Silver Screen සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්
  • SocialShare:

025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(13) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. එහිදී, ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානය ප්‍රදානය කෙරිණි.

මෙහි දී සම්මානයට පාත්‍ර වූ පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

සම්මාන ප්‍රදානයෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය  මෙසේ සඳහන් කළාය.

ලොව ජනප්‍රියම කලා මාධ්‍යයක් වන සිනමාවේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ප්‍රවීණ කලාකරුවන් ඇගයීම, ඔවුන් රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු අවස්ථාවන්හි පෙනී සිටීම සමස්ත ජාතියේම පරම යුතුකමක් සේ මම දකිමි.

ගෙවෙමින් පවතින 2025 වසර, දේශීය සිනමාවට වසර සියයක් සම්පූර්ණ වන බැවින් සිනමා අවකාශය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ගොඩනැඟීමට උරදුන්, දිරිදුන්, වෙරදුන් මිනිසුන් ජාතියේ උත්තමාචාරයෙන් පිදීම කෘතඥපූර්වක කටයුත්තක් බව මාගේ හැඟීමයි.

සුමිත් බිබිලේ මහතාගේ සංකල්පයක් අනුව බිහි වූ මෙම පදනම, එතුමාගේ දියණිය වන සනෝජා බිබිලේ මහත්මිය විසින් පවත්වාගෙන යාම අගය කළ යුතුයි.

කතානාද සිනමාවේ පටන් 70 දශකයේ ආරම්භය දක්වා ම සිනමාවට උදාර මෙහෙවරක් කළ කලාකරුවන් රැසක් මේ වන විටත් Silver Screen සම්මානයෙන් පිදුම් ලබා ඇති බව දැනගැනීමත් සතුටට කරුණක්.

පසුගිය දා දැයෙන් සමුගත් නිළි රැජිනිය මාලනී ෆොන්සේකා මහත්මියවත් අප මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. ඇය සම්මාන රාශියකින් පිදුම් ලැබුවා. ඒත් ඒ සම්මාන සියල්ලටම වඩා වටිනා ජනතා ආදරය ඇයට නොඅඩුවම ලැබුණා.

සිංහල සිනමාව නියෝජනය කරමින් මෙවර සම්මානයට පාත්‍රවන සිනමා ශීල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික තාක්ෂණ ශිල්පීන් මෙන්ම පුවත්පත් කලාවේදීන් සහ විචාරකයන් ද ඇතුළු කලාකරුවන් සැමට මගේ හෘදයාංගම සුබාශිංසන පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඒ වගේම, සනෝජා බිබිලේ මහත්මිය, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සහ Silver Screen සංවිධානයේ සියලු ක්‍රියාකාරීන්ටත්, මෙම උළෙල සාර්ථක කරගැනීමට මෙවැනි අරුත්බර දේ ජනගත කරන්නට සහය වන සියලු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන්ටත්, ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සමස්ත රජය වෙනුවෙන් ම ස්තුතිපූර්වක ගෞරවය පුදන අතරම, තව දුරටත් මෙම කෘතවේදී සත්කාරය අඛණ්ඩව කරගෙන යෑමට මේ සියලු පාර්ශවයන්ට සුබාශිංසනය එක්කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළා ය.

මෙම උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය සමඟ සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් එක් වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.