දහම් පාසල අධ්‍යාපනය මුහුණුදී ඇති දීර්ඝකාලීන අභීයෝග සඳහා නව රජයෙන් විසදුම්

දහම් පාසල අධ්‍යාපනය මුහුණුදී ඇති දීර්ඝකාලීන අභීයෝග සඳහා නව රජයෙන් විසදුම්
  • SocialShare:

දහම් පාසල් පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් පවතින අභියෝග සඳහා වත්මන් රජය යටතේ විසඳුම් ලබා දෙන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.


දහම් අධ්‍යාපනයට නිරන්තරයෙන් එල්ල වන අභියෝග පිළිබදව නිරත්නරයෙන් සාකච්ඡා කරන නමුත් නිශ්චිත විසඳම් කරා මේ දක්වා එළෑඹ නොමැති බැවින් කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මහනුවර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 45ක දහම් ගුරුවරුන් 512 දෙනෙකු ඇඟයීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවාණාගාරයේදි සංවිධාන කොට තිබුණු " දහම් ගුරු අභිසෙස් මංගල්‍යය" සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමියන්ගේ මුලසුන යටතේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල නායක හිමියන්ගේ සහභාගීත්වයෙන් මෙම උපහාර උළෙල පැවැත්විණි.
මෙරට 10 096ක් පාසල් පවතින අතර දහම් පාසල් ප්‍රමාණය පවතින්නේ 10 646ක් යැයි කී නියෝජ්‍ය ඇමතිවරයා සංඛ්‍යාත්මක වශයෙන් පාසල් වලට සාපේක්ෂව දහම් පාසල් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව කීවේය. නමුත් විධිමත් පාසල් පද්ධතිය තුළ සිසුන් ලක්ෂ 40ක් අධ්‍යාපනය ලබද්දී දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් ප්‍රමාණය ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් යැයි කීහ.
දහම් පාසල් අධ්‍යාපනය කරා දරුවන් යොමු නොවීමට හේතු අධ්‍යයන කොට ඇතැයි කී ඒ මහතා එම අධ්‍යාපන පද්ධතියට විධිමත් කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය. ඒ සඳහා සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහයෝගය ලබා ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ හිමි, මල්වතු මහ විහාරීය කර්මාචාර්ය, හිඳගල රජමහ විහාරාධිපති පූජ්‍ය ඇඹිල්මීගම පක්ඤාකිත්ති හිමි, ගඟවට කෝරළය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය එගොඩමුල්ලේ ඤාණසීහ හිමි, මහනුවර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මාවනැල්ලේ වප්ප හිමි ඇතුලු මහා සංඝරත්නය ද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර ගඟවට කෝරළය සහකාර ප්‍රාදේශීය ලේකම් කාංචනා නුගලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරින් හා දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.