සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
සති දෙකකට ආසන්න කාලයක් තුළ දී රතු කැකුළු ගැටලුව විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහ කන්නයේ අස්වනු ලැබීමත් සමඟ රතු කැකුළු අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා;
“කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න රජය සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ රතු කැකුළුවල. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙවෙයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළ දී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා”
නාඩු ගැටලුවට විසඳුමක් ලබා දුන් ආකාරයටම මෙම ගැටලුවට ද ක්‍රමානුකුල විසඳුමක් ලබා දෙමින් තිබෙන බවත්, මෙම අවස්ථාව දඩමීමා කරගෙන ඇතැමෙකු අයුතු ලාභයක් ලබා ගැනීමට උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව පාරිභෝගික අධිකාරිය හා එක්ව මැදිහත් වී වැටලීම් කිරීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.