ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.
සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාම සහ විදේශ තානාපති කාර්යාල හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබා ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දීමේ (EBMD) පහසුකම දියත් කිරීම ඒ අනුව අද සිට සිදු කෙරේ.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වුණු අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රොෂන් ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කේ. පද්මනාදන්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධ්‍යක්ෂ හර්ෂ පුරසිංහ, LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා යන මහත්වරු ඊට එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් මෙම නව ප්‍රවේශයෙන් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙහිදී සඳහන් කළේය.