"දිට්වා" ව්‍යසනයෙන් හානියට පත් කොළොන්නාවේ නිවාස හිමියන් 781කට වන්දි ගෙවීම අද

"දිට්වා" ව්‍යසනයෙන් හානියට පත් කොළොන්නාවේ නිවාස හිමියන් 781කට වන්දි ගෙවීම අද
  • SocialShare:

‘දිට්වා’ ව්‍යසනයෙන් කොළොන්නාවේ හානියට පත් නිවාස හිමියන් 781 දෙනෙකුට වන්දිවලට අදාල චෙක්පත් ප්‍රදානය කොළොන්නාව සංවර්ධන කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විණ.

ඒ යටතේ,  අර්ධ හානි සිදුවූ නිවාස ප්‍රතිසංස්කරණය කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක හානිපූර්ණ වන්දි ගෙවීමට පියවර ගත් අතර, එම මුදල ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් වශයෙන් අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු ආරම්භ කෙරිණ.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 18 ක ජනතාවට හානිපූර්ණ චෙක්පත් ප්‍රදානය සිදුවිය.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙසේ පැවසීය.

‘දිට්වා’ ස්වභාවික ව්‍යසනයෙන් කොලොන්නාවට දැවැන්ත හානියක් සිදුවුණා. සුනාමියට පසු රටට සිදුවූ විශාලතම ආර්ථික හානිය මෙයයි. දිට්වාවට පෙර අපේ රට තිබූ තත්ත්වය ඔබ හැමෝම දන්නවා. ණය ගෙවාගන්න බැරි, බංකොලොත් කරපු රටක එදා ඔබ, අප ජීවත්වුණේ. ඔබේ කැමැත්තෙන් පත්කල වත්මන් මහජන ආණ්ඩුව වසරක් යනවිට මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට සමත් වී තිබෙනවා. ඒ ඔබ විසින් අපේ ආණ්ඩුව හදපු නිසයි. ඒ ආණ්ඩුව නිසා මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවෙලා තිබෙනවා. හොරා නොකා, ආදායම් බදු නාස්ති නොකර, විදේශ ආදායම රැකගනිමින් කටයුතු කලා. ඒ නිසා තමයි අපේ රටේ රුපියල් පෙට්ටියයි, ඩොලර් පෙට්ටියයි පිරුණෙ. නාස්තිය, දූෂණය නැතිව ඉතිරි කරගත්ත මුදල් ටික තමයි ඔබට යළි දෙන්නේ; ණයක් අරන් නොවෙයි. අනුර සහෝදරයගෙ හෝ මගේ සල්ලි නොවෙයි. ඔබේ නිවස හදාගන්න දෙන මේ මුදල් නිවස ඉදිකර ගැනීමට පමණක් වැය කරන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය වෙන්නෙ ඔබ සිටියට වඩා උසස් තැනතට ගෙනඑන්න. ජීවත්වුනාට වඩා ප්‍රමිතිගත, ආරක්ෂිත වාසස්ථානයක පදිංචි කරවන්න. ඒකට ආණ්ඩුව විදියට උදවු කරනවා. රජය ගන්න ජනතාවාදී සැලසුම් එක්ක ඔබ සියලුදෙනා ඉන්න ඔනි. මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඔබේ සහයත් ලබාදී ඔබේත් ඔබේ දරුවාගේත් අනාගතය සාර්ථක කරගන්න කටයුතු කරමු”.

මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි මහතා ඇතුළු පලාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීහු සහ වන්දිලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.