ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින අතර, ලාංකිකයින් 600ට අධික පිරිසක් සඳහා රැකියා ගිවිසුම් මේ වන විට ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ජූලි මස 14 වන දින දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රය තුළදී අත්සන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින් ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.
එසේම ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ජූලි 06 හා 07 යන දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල රැකියා සදහා දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ. මෙම ශ්‍රමිකයින් Renovation General Work, Ceramic Tiling, Plastering Work යන රැකියා කාණ්ඩ සඳහා පිටත්ව ගිය අතර, ඉන් 49 දෙනෙකු ජූලි මස 8 වන දින හා තවත් 50 දෙනෙකු ජූලි 9 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම රැකියා කාණ්ඩයට අදාළව ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම 2025.03.19 දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට මේ දක්වා ලාංකිකයින් 521 දෙනෙකු අදාළ රැකියා සඳහා ඊශ්‍රායලය වෙත යොමුකර තිබේ.
පසුගිය සමයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම තාවකාලිකව නතර කර තිබූ අතර, පැවති තත්ත්වය සමනය වීමත් සමග ශ්‍රමිකයින් ක්‍රම ක්‍රමයෙන් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය පියවර ගනිමින් සිටියි.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් මෙම රැකියා සඳහා යොමුකරනු ලබන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට වෙනත් පාර්ශවයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.


