රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙනතුරු ඇමරිකානු තීරුබදු සාකච්ඡා තවදුරටත් ඉදිරියට - මුදල් ලේකම්

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙනතුරු ඇමරිකානු තීරුබදු  සාකච්ඡා තවදුරටත් ඉදිරියට - මුදල් ලේකම්
  • SocialShare:

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යනබව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වූ බවත්, එම සාකච්ඡා සාර්ථක වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ පැවසීය.
අපි මුල ඉඳලම රට වෙනුවෙන් ඉතා අවංක භාවයෙන් සිදුකළ සාකච්ඡා ඔවුන් හඳුනාගෙන තිබෙනවා. මෙය ගෝලීය තත්වයක් මිසක් ලංකාවට පමණක් සීමා වූවක් නොවෙයි.කළාපයේ තිබෙන අනෙක් රටවල් සමග ලංකාවට තිබෙන බදු බලපෑම අඩු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සාකච්ඡා සිදුකළා . මෙම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ අනුව රටට වඩාත් ගැළපෙන දේ අපි තෝරා ගන්නවා. ඉදිරි දින කිහිපයේදී අනෙක් රටවලට ලැබෙන බදු සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා.

අපි මුල සිටම මේ සම්බන්ධයෙන්  සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. කලාපයේ අනෙක් රටවල් සමග තිබෙන තරඟකාරිත්වය රඳවාගනිමින් අපේ අපනයනකරුවන්ට ඉදිරියට යාම තමයි මෙම සාකච්ඡාවන්හි ප්‍රධාන අරමුණ වුණේ. අමෙරිකාව පැනවූ 44% ක් වූ තීරු බදු ප්‍රතිශතය  30%ක් දක්වා අඩුකර ගැනීමට හැකිවූයේ, විවිධ පාර්ශව සමග මෙරට රජය සිදුකළ නිසි මැදිහත්වීම මතයි කලාපයේ තිබෙන අනෙක් රටවල් අතුරින් මෙලෙස ඉහළම තීරුබදු අඩුකර ගැනීමට හැකි වී ඇත්තේ ලංකාවට පමණයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා මුලසිටම මැදිහත් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.අපේ රටේ සමස්ථ අපනයකරුවන්ට තිබෙන බලපෑම සම්බන්ධයෙන් සොයා බලමින්, මෙම සාකච්ඡා ඉදිරියට ගෙනගිය බවද මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡා ඇයි මෙතරම් ප්‍රමාද වුණේ කියලා ඇතැමුන් විමසනවා, මෙවැනි තීරණ හැකි ඉක්මනින් ගත හැකි තීරණ නොවෙයි. මෙම ක්‍රියාවලිය ඉතාමත් පුළුල් ක්‍රියාවලියක්. රටක් වශයෙන් සියළු පර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඉදිරියට යනවා. මේ වන විට අපි තීරණාත්මක මොහොතකට පැමිණ තිබෙනවා. මෙතෙක් ගෙනා සාකච්ඡා ඉදිරියට ඇවිත් තිබෙනවා. සාකච්ඡා පවත්වමින් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රටට වඩාත් ගැළපෙන දේ අපි තෝරා ගන්නවා. ඒ සඳහා දොර විවෘත වී තිබෙනවා.ඒ අනුව ඉදිරි දින කිහිපයේදි ඒ සම්බන්ධයෙන් අනෙක් රටවලට ලැබෙන තීරු බදු සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද කීය.