අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ආදාළව 6 ශ්‍රේණියේ මොඩියුල ක්‍රියාත්මක කරනු ලබන්නේ 2027 වර්ෂයේ බවත් පළමු ශ්‍රේණියේ මොඩියුල මෙම වර්ෂයේ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ තිබෙන සමහර කාරණා සම්බන්ධයෙන් යම් ව්‍යාකූලත්වයක් සමාජය තුළ ඇතිවී ඇති බව පවසන අමාත්‍යවරයා එම ව්‍යාකූලත්වයට විවිධාකාර හේතු බලපා ඇති අතර සමහර පිරිස් මෙය දේශපාල අරමුණු වෙනුවෙන් භාවිත කරන අතර තවකෙක් නඩුවලින් බේරීමට භාවිත කරන බවත් තමාට අහිමි වූ බලය ලබා ගැනීමට භාවිත කරන බවත් සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව ජනාතාව තුළ අවම විශ්වාසයක් හෝ නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එලෙසම ඉදිරියට ගෙන යා නොහැකි අතර එහි වෙනස්කම් සිදු විය යුතු බවට රජය පිළිගන්නා අතර මෙම 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් සිදු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශය වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් හෙතෙම පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවත් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන වාර්තාවත් පදනම් කර ගෙන පසුගිය දිනවල ජනාධිපතිවරයා සිදු කළ අධ්‍යාපන විෂයට අදාළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනඥයන් ඇතුලු කණ්ඩායම් ගණනාවක් සමග සාකච්ඡා කර ඇති බවත් මේ සියලු කාරණා සැළකීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මෙම තීරණයට පැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව දැනට ආරම්භ කර ඇති කුළුණු පහකින් යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පළමු ශ්‍රේණියේ මොඩියුලය එලෙස ක්‍රියාත්මක කිරීමටත් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය යළි සමාලෝචනය කිරීමට කාලය ලබා ගන්නා අතර එම විෂය මාලා සංශෝධනය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව , මෙම සිද්ධියට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙමෙ අවධාරණය කළේය.


