දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් මෙට්‍රික් ටොන් 500ක සහල් තොගයක් ඊයේ (09) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙන ලදි.
මියන්මාර රජයේ මෙම සහල් ප්‍රදානය නාවික හමුදාව විසින් රේගු නිෂ්කාශන කටයුතු සිදුකර, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති Marlar Than Htaik මහත්මිය විසින් වෙළෙඳ අමාත්‍යවරයා වෙත භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේදී සිදුකෙරිණ.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට 20%ක් වගා බිම් හානියට පත් වූ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන් මූල්‍යමය ආධාරවලට අමතරව මියන්මාර රජය මෙම මෙට්‍රික් ටොන් 500ක සහල් තොගය පරිත්‍යාග කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ;
"හෙක්ටයාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වගාබිම් හානියට පත්වුණා. හෙක්ටයාර 25000කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශයට පත් වෙලා තිබුණා. අපේ රට තුන්වේල බත් කන ජනතාවක් ජීවත් වෙන රටක්. විශේෂයෙන් ලංකාවේ ප්‍රධාන ආහාර වේල වෙන්නෙත් බත්. සහල් නිෂ්පාදනය වගේම පරිභෝජනය අතිනුත් සමානකම් තියෙන මියන්මාර රජයෙන් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් අපේ රටේ ජනතාවට සහන සැලසීමට මූල්‍යමය ආධාර ලබාදීමට අමතරව ඔවුන් තම නිෂ්පාදනයන්ගෙන් සහල් ප්‍රමාණයක් අපේ රටට පරිත්‍යාග කළා"
2022 වසරේ පැවති ආර්ථික අර්බුදය අවස්ථාවේත් මියන්මාර රජය මෙවැනිම පරිත්‍යාග සිදු කර ඇති බවත්, පසුගිය වසරේ මියන්මාරයට බලපෑ භූ කම්පනය අවස්ථාවේත් ශ්‍රී ලංකා රජය එලෙසින්ම ඔවුන්ට ශක්තියක් වී ඇති බවත් එහිදී අමාත්‍යවරයා සිහිපත් කළා .
ආගමික වශයෙන්ද දිගු කාලීන ශක්තිමත් සබඳතාවක් දෙරට අතර පවතින අතර එම මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කරමින් සිදුකළ මේ පරිත්‍යාගය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා දිගුකාලීනව පවත්වාගෙන යාමට හේතුවක් වී තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
මෙරටට ලද සියලු ආපදා සහන සෘජුවම ලබාදෙනු ලබන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා වන අතර මේ වන විටත් කඳවුරුගතව සිටින ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය ලබාදුන් පරිත්‍යාග සේම අනෙකුත් සියලු රාජ්‍යයන් විසින් ලබා දුන් ආධාර ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදාවට පත් ජනතාවට ලබාදීමට කටයුතු කරනු ලබයි.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (හදිසි මෙහෙයුම්) නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික පුෂ්ප කුමාර මහතා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.


