ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ
ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි - ජනපති
වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බවද අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරින් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය: ණය සහ පාලනය” (Sri Lanka's Road to Recovery: Debt and Governance) මැයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වි පැවතියද, එම තත්ත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් රජය යටතේ ඉතා කෙටි කලක් තුළ රටට ආර්ථික ජයග්‍රහණය රැසක් අත්කර දී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් ජයග්‍රහණය කරවීම තම රජයේ අරමුණ බවද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙහිදි අදහස් දැක්වූහ.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව
මීට වසර කිහිපයකට පෙර අපේ රටේ ආර්ථිකයේ ඇති වු ගැඹුරුතම අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි රටක් ලෙස මුහුණ දුන්නා. එහිදී අපිට තෝරා ගැනීමට මාවත් දෙකක් තිබුණා. පැරණි අසාර්ථක විනාශකාරි මාවතේම යනවද, එසේ නොමැතිව අපේ රට යළි ජයග්‍රහණය කරවීම සඳහා නව මාවතක් තෝරා ගන්නවාද යන කරුණු දෙක අපි හමුවේ පැවතුණා.
අප විසින් තෝරා ගත් මාවත රටට විශාල ජයග්‍රහණය ගෙන දී තිබෙන බව අද අපි සියලුදෙනාට සතුටින් ප්‍රකාශ කළ හැකියි. එහිදී දේශපාලන අධිකාරියට වගකීමක් සහ බැඳීමක් තිබෙනවා. ඒ වගේම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබුණා. එසේම මෙහි විශාලතම පංගුව තිබුණේ මෙම ප්‍රතිසංස්කරණවලදී පීඩාවට පත්වූ ජන ප්‍රජාව සතුවයි. ඔවුන් මේ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා විශාල කැපකිරීමක් සහ දරා ගැනීමක් සිදු කර තිබෙනවා.
අද අප රටක් ලෙස ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගෙන සිටිනවා. අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරිමට හැකියාව ලැබී තිබෙන අතර සැලකිය යුතු කාලයක් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපි අපේක්ෂා කරන රාජ්‍ය ආදායම උපයා ගැනීමටත්, අපේක්ෂා කරන විදෙස් සංචිත ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබි තිබෙනවා. මේ අයුරින් මතුපිට තලයේ ආර්ථික සාධකවල අපි ඉතා ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කරනවා. එහෙත් අර්බුදයේ ගැඹුරු තුවාල තවමත් සුව වී නැහැ. අර්බුදය තවමත් අභ්‍යන්තරව අවසන් වී නොමැති බව අපි තේරුම්ගත යුතුයි.
එසේනම්, මතුපිට තලයේ ස්ථාවරත්වයක් නිර්මාණය වී පැවතියද, එම තත්ත්වය ස්ථාවර කර ගැනීමටත්, ආර්ථිකය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීමටත්, ආර්ථික දේහයේ නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්වීම් අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. එහිදී වැදගත් සාධක කිහිපයක් කෙරෙහි මම අවධානය යොමු කිරීමට කැමතියි.
අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. අපි නොදැරිය යුතු පිරිවැයක් අද අපි දරමින් සිටිනවා. ඒ නිසා ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන අතරම පුරවැසියන්ට අවම පිරිවැයකින් එම සේවාව ලබා දීම අපේ අපේක්ෂාවයි. එහිදී අපි දැනටමත් තීරණය කර තිබෙනවා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමිය යුතුයි කියලා. එම රාජ්‍ය ආයතන ගොඩනැගුනේ එදා තිබු සමාජ ආර්ථික තත්ත්වයට අවශ්‍ය වන පරිදියි. අද එම ආර්ථික සහ සමාජ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඇතැම් ආයතනවල පැවැත්ම පවා අවලංගු වී තිබෙනවා. ඒ නිසා අපි එය කළ යුතුයි. ඒ වගේම එකම කාර්යය වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි.
ඒ වගේම ඇතැම් රාජ්‍ය ආයතනවල අරමුණ සහ ඉලක්ක වෙනස් කළ යුතුයි. එනිසා මේ ස්ථාවරභාවය ඉදිරියට ගෙන යෑමට රාජ්‍ය දේහයේ ශක්තිමත් පරිවර්තනයක් අවශ්‍යයි. එය ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා අප කැප වී සිටිනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන අකාර්යක්ෂමතාවය, විශේෂයෙන්ම දූෂණය, අල්ලස පිටුදැකිය යුතුයි. මෑත කාලයේ වාර්තා වන පුවත් දෙස බැලීමේදී අපේ රට කොතැනද තිබෙන්නේ කියා ඔබට සිතා ගැනීමට පුළුවන්.
පොලිස්පතිවරයා පොලිසියට බයේ හැංඟෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාරගත වෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට පත් වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට පත් වෙනවා. එහෙනම් අපේ රාජ්‍ය දේහය කොතැනද තිබෙන්නෙ? අකාර්යක්ෂමතාවය, අල්ලස, දූෂණය මේ අර්බුදයට විශාල මාවතක් නිර්මාණය කළා. අල්ලස ඒ මොහොතේ සිදුවන ගනුදෙනුවක් නෙමෙයි. අල්ලස හා දූෂණය විසින් ඒ නිශ්චිත මොහොතේ අවශ්‍ය ව්‍යාපෘති සිදුකළේ නැහැ. අනික් පසින් අල්ලස හා දූෂණය විසින් අපට අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. අදත් ඒවා අපට බරක් වී තිබෙනවා. එනිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමත්, අල්ලස හා දූෂණය තීරණාත්මක ලෙස පරාජය කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් රාජ්‍යයක් ලෙස අප කැපවී සිටිනවා.
අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම ආර්ථිකයත් සමඟ සංවේදී ක්ෂේත්‍ර යම් ප්‍රමාණයක් රජය සතුව තබාගත යුතුයි කියා අපි විශ්වාස කරනවා. අපේ බලශක්ති වෙළෙඳ පොළ හා මූල්‍ය වෙළෙද පොළ ඉතා කුඩා වෙළඳපොළක්. එනිසා අපේ රට වැනි රටක ඒකාධිකාරය නිර්මාණය වීමේ අනතුර තිබෙනවා. ඒකාධිකාරය නිර්මාණය විමේ අනතුරට මුහුණ දීමට නම් ඇතැම් කේෂ්ත්‍රවල රජයේ පංගුවක් නියෝජනය කළ යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. නමුත්, ඒ නියෝජනය කරන ආයතන කිසිසේත්ම මහජනතාවට බරක් නොවිය යුතුයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන ආර්ථිකයත්, ජනතාවගේ දෛනික ජනජීවිතය සමඟ ඉතා සමීපව ගැටගැසී තිබෙනවා. ඒ ආයතනවල යම් පාලනයක් රජය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. එම ආයතන පවත්වාගෙන යෑම වෙනුවෙන් මහජනතාව වැය බරක් නොදැරිය යුතුයි. එනිසා නිෂ්පාදන පිරිවැයට අනුරූප වන පරිදි මිල ගැළපිය යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පරිවැයට අනුව විදුලි ඒකකයක මිල තීරණය කළ යුතුයි. අප ඒ පදනම ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.
ඒ වගේම නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට අපි සූදානමින් සිටිනවා. පුරවැසියන් එම සේවාවන් ලැබිය යුතු වන්නේ ඒ සේවාව සඳහා පිරිවැය දැරීමෙනුයි. එහෙත්, සමහර අඩු ආදායම්ලාභී කණ්ඩායම් ඉන්න බව අපි දන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර, එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාවට ඉවසාගෙන සිටින ලෙස කීමට අපට අයිතියක් නැහැ. එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාව අපි බලාගත යුතුයි. එය යුක්තිගරුක රාජ්‍යයක වගකීමක්. ඕනෑම අවස්ථාවක සමාජයේ ආර්ථික ක්‍රියාදාමයත් සමඟ සම්බන්ධ නොවන ප්‍රජාවක් සිටිනවා. වැඩිහිටි ප්‍රජාවන් වෙන්න පුළුවන්, ආබාධිත ප්‍රජාවන් වෙන්න පුළුවන්, තමන් හැදී වැඩෙන පරිසරය අනුව තමන්ට ආර්ථිකයට සම්බන්ධ වීමට නොහැකි වෙන්න පුළුවන්. මේ ආදී සාධක විසින් ආර්ථිකයට සක්‍රීයව සම්බන්ධ නොවෙන, සම්බන්ධ කරගත නොහැකි ප්‍රජාවක් නිරතුරුව සිටිනවා.
එම ජන ප්‍රජාව ආරක්ෂා කර ගැනීම රජයක වගකීමක්. එම ජන ප්‍රජාව අත්හැර ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීමෙන් පලක් නැහැ. එය මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්, යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදිය යුතුයි කියන ප්‍රතිපත්තියක අප සිටිනවා. එය කිසිසේත්ම දේශපාලනීකරණය වූ සහනාධාර වැඩපිළිවෙළක් නොවෙයි. එය නිශ්චිත වශයෙන් සමාජ යුක්තිය පිළිබඳව, සමාජ ආරක්ෂණයක් ලබාදීමේ වගකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස මනින්න අපි සූදානම්. අපේ අත්දැකීම්වලට අනුව සහනාධාර වැඩසටහන් සෑම විටම දේශපාලනිකකරණය වූ වැඩසටහන් බවට පත්ව තිබුණා. මම ඔබට වගකීමෙන් කියනවා අපි කිසිම අවස්ථාවක දේශපාලනය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහැ.
අනික් පසින්, අපි ක්ෂේත්‍ර ගණනාවක ස්ථාවර ඉලක්ක සපුරාගෙන තිබෙනවා. නමුත් තවත් වේගයෙන් ඉලක්ක සම්පූර්ණ කරගත යුතු කේෂ්ත්‍ර කිහිපයක් තිබෙනවා. පළමුව සෘජු විදෙස් ආයෝජන කැඳවා ගත යුතුයි. පසුගිය දශක ගණනාවක් දෙස බැලුවහොත්, ඒ නිශ්චිත මොහොතේ ලෝකයේ ආර්ථික ස්වභාවයත් සමඟ, ආර්ථික චලනයන් සමඟ කල්පනා කළහොත් අපි අවශ්‍ය වන ප්‍රමාණවත් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගැනීමට අසමත් වූ රාජ්‍යයක්. එනිසා අපි ප්‍රමාණවත් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගත යුතුයි. හැබැයි එය කැඳවා ගැනීම අභියෝගයක්. අප සිටින්නේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් තිබෙන තැනක නොවෙයි. බිඳ වැටුණු ආර්ථිකයේ සිට යළි යථාවත් කර ගැනීම සඳහා පොර බදන තැනක සිටයි. අපේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබුණා. එදිනෙදා භාණ්ඩ මිලදී ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. ඩොලර් සංචිතය ඉතා අවම මට්ටමකට පත් වුණා. අප එතැන් සිට ගොඩ එමින් සිටිනවා. එතැන් සිට යථාවත් කරගනිමින් සිටිනවා.
එහෙත් අපට ආයෝජනයන් කැඳවා ගැනීම වෙනුවෙන් එය ප්‍රමාණවත්ද? ආයෝජනයන් සඳහා යම් දිරිගැන්වීම් ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ආයෝජනයන්ට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීම ඉලක්ක කර ගනිමින් සහ දිරි ගැන්වීමක් ලෙස යම් සහනයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි යන ස්ථාවරයක අපි සිටිනවා. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම අපි අපේ රටේ ජාතික ආර්ථිකයට සහ ජාතික නිෂ්පාදනයට යළි පණ දෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නය තිබෙනවා. පසුගිය ආර්ථික බිඳවැටීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් බිඳ වැටීමකට ලක් වුණා. ඉන් 90%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කළමනාකරණ දෝෂ හෝ ඔවුන්ගේ ව්‍යාපාරික දෝෂ නිසා නොව, පොදු ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රතිවිපාක භුක්ති වින්ඳා. එසේ නම් යළි ඔවුන් නඟා සිටුවීම සඳහා යම් සහනයන් අප ලබා දිය යුතුයි. මේ තිබෙන තත්ත්වයෙන් තවත් ඉදිරි පියවරක් ගැනීමට නම් මේ ක්ෂේත්‍ර කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි.
තෙවනුව අපේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථිකයේ ප්‍රසාරණය වැදගත් වෙනවා. ග්‍රාමීය ජනතාව ආර්ථිකයෙන් විතැන් කරන ලද , ආර්ථිකයෙන් පිටමං කරන ලද මිනිස් දූවිලි බවට පත් වී තිබෙනවා. අපට අගනගරයේ ආර්ථික වර්ධනයන් පිළිබඳ දත්ත ගැන ගොඩක් කතා කළ හැකියි. නමුත් දත්තවලින් පිළිඹිබු නොවන කරුණක් තිබෙනවා. ආර්ථික වර්ධනයේ සාධක ජනතාවට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්න නම් ආර්ථිකයේ ප්‍රසාරණය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ඈත ගම්වල පුරවැසියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් හා ක්‍රියාමාර්ග දියත් කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ නිසා අද ආර්ථිකයේ ඇති වී තිබෙන සමනය ස්ථාවරභාවයට පත් කර ගැනීමටත් මෙම තත්ත්වය තවත් ශක්තිමත් තත්ත්වයකට පත් කර ගැනීමටත් විශාල කාර්යයක් අප වෙත පැවරී ඇති බව අපි විශ්වාස කරනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් සහායත් එමෙන්ම එහිදී යම් අගතියකට පත් වූවා නම් අපේ පුරවැසියන්ගේ දරා ගැනීමත් පිළිබඳව බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි. මා මීට පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීරණ ණය වැඩසටහනට පැමිණි අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමයි. ඒ පිළිබඳ අපේක්ෂාවක් අපට තිබෙනවා. වසර 2028 වන විට අප ගෙවිය යුතු ණය ස්වශක්තියෙන් ගෙවීමට අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා.
ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වාධිපත්‍ය රඳා පවතින්නේ නැහැ. ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ. අපි කැමති වුවත් අකමැති වුවත් අපට ස්වාධීපත්‍යය සහ ස්වෛරීභාවය අහිමි වී තිබෙනවා. ඒ නිසා මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත් විය යුතු වන්නේ ජාතියක් ලෙස අපි ස්වාධිපත්‍ය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීමයි. ඒ වෙනුවෙන් වෙහෙසකර ව්‍යායාමයක් තිබෙනවා. අත් නොහරින ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කිරීමට දේශපාලන අධිකාරිය ලෙස අපේ බැඳීමත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට ඇති වගකීමත් මහජනතාව ලෙස ඔබේ සහයෝගයත් මම අපේක්ෂා කරනවා.