මෙරට මූලික රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක මුදලක් වැය කරමින් සිව් අවුරුදු විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මූලික රෝහල හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්, කාර්යක්ෂම සහ පහසුකම්වලින් සපිරි සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පවතින රෝහල්වල අවශ්‍යතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.
නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරයා බාහිර රෝගී අංශය, වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, ඖෂධාගාරය, රසායනාගාරය, ලේ බැංකුව ඇතුළු රෝහලේ ප්‍රධාන සේවා ඒකක නිරීක්ෂණයට ලක් කළ අතර, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සොයා බැලීය.
අනතුරුව රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමඟ පැවති සාකච්ඡාවේදී සේවය සැපයීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
වැල්ලවාය මූලික රෝහල B කාණ්ඩයේ රෝහලක් වුවද එම කාණ්ඩයට අදාළ සියලු පහසුකම් තවමත් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි රෝහල්වල මූලික පහසුකම් සම්පූර්ණ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව සඳහන් කළේය.
එමෙන්ම බෝ නොවන රෝග පාලනය සඳහා පිහිටුවා ඇති කාර්යසාධක බලකායේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.


