කොළඹටත් පොසොන්" ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹටත් පොසොන්" ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
  • SocialShare:

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කරන "කොළඹටත් පොසොන්" ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ඊයේ(28) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වයෙන් මෙම පොසොන් කලාපය සංවිධානය කර ඇත.

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සහ පංචශීලයේ පිහිටුවීම සිදු කෙරුණු අතර, පොසොන් කලාපය විවෘත කිරීමේ සංදේශය අඩංගු මංජුසාව පිළිගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය විසින් උත්සවය නිල වශයෙන් විවෘත කළාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, බාලදක්ෂ ව්‍යාපාරය පාසල් පද්ධතිය තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, මෙවැනි ආගමික හා සමාජීය වැඩසටහන් මගින් සමාජයට ඉටුකරන සේවය ඉතා අගය කරන බවයි.

ජූනි 28 සහ 29 යන දෙදින තුළ පස්වරු 6.00 සිට අලුයම 1.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින මෙම පොසොන් කලාපය, කොළඹ 02 චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රය ඇතුළුව ලේක්හවුස් වටරවුමේ සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ ප්‍රදේශය ආවරණය කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.