නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්
  • SocialShare:

නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ගොඩ කිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා "නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම" නමින් විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකු සහ වර්තමාන දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කෙරෙන අතර අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් ද ඊට ඇතුළත් වේ.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කර දේශපාලන බලය භාවිත කරමින් සිදු කෙරෙන අනවසර ඉඩම් අල්ලා ගැනීම් සහ ගොඩ කිරීම් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල ලබාදීමට ද තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වසර පහකට පෙර හෝ ඊට වැඩි කාලයකට පෙර වාණිජ අරමුණු සඳහා ලබාදී ඇති නමුත් මෙතෙක් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර නොමැති ඉඩම් යළි රජයට පවරාගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ජනතා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ද නියමිතය.

නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක විභවය උපයෝගී කරගනිමින් වෙරළ පද්ධතිය ආරක්ෂා වන අයුරින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කිරීමට ද රජය තීරණය කර තිබේ.