පිලිපීන ජනරජයේ නිදහස් දින සැමරුම් උළෙලක් කොළඹදී

පිලිපීන ජනරජයේ නිදහස් දින සැමරුම් උළෙලක් කොළඹදී
  • SocialShare:

පසුගිය ජූනි 12 වන දිනට යෙදුණු පිලිපීන ජනරජයේ 128 වන ජාතික නිදහස් දිනය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ පිලිපීන කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සැමරුම් උළෙලක් ඊයේ (22) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ පිලිපීන තානාපතිනි Mrs. Nina P. Cainglet ගේ ආරාධනයෙන්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

එහිදී සැමරුම් උළෙල අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව හා පිලිපීන ජනරජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය දෙරටටම ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඉතාමත් වැදගත් වන බවයි.

විශේෂයෙන්ම අධ්‍යාපන, වෙළඳ, මානව සම්පත්, කෘෂිකාර්මික, සමුද්‍රීය, සංචාරක සහ කලාපීය සහයෝගීතාව යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව සහ අඛණ්ඩව වර්ධනය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් අවස්ථාවන්හිදී පිලිපීන රජය දැක්වූ සහයෝගය පිළිබඳව රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

උළෙල ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනිය තම පිලිපීන ජනතාවගේ නිර්භීතකම, ඔරොත්තුදීමේ හැකියාව සහ දේශප්‍රේමය අගය කරමින් ශ්‍රී ලංකාව හා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව ගෞරවයෙන් සිහිපත් කරන්නට විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පිලිපීන ජනරජයේ කොන්සල් ජනරාල් Mr. Hugh Sriyal Dissanayake, විවිධ රාජ්‍යයන් නියෝජනය කරන තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ජනතා නියෝජිතයන්, සම්භාවණීය අමුත්තන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ  ශ්‍රී ලංකාවේ වෙසෙන පිලිපීන ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.