ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට වැවිලි අමාත්‍යාංශයේ දායකත්වය පිළිබඳ සාකච්ඡාවක්

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට වැවිලි අමාත්‍යාංශයේ දායකත්වය පිළිබඳ සාකච්ඡාවක්
  • SocialShare:

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 සාර්ථක කර ගැනීම සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (09) දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජාතික අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් තේ, රබර්, පොල් මෙන්ම තල්, කිතුල් සහ කජු වැනි වැවිලි බෝග ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කළ අපනයන ප්‍රවර්ධනය කිරීම සහ වැවිලි ප්‍රජාවගේ ආර්ථික ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී සඳහන් කළේ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් සපුරා ගැනීමට අපේක්ෂිත අපනයන ඉලක්ක මූලික කරගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සෘජු සහාය සහ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවයි.

එසේම, ජාතික අපනයන ඉලක්ක සපුරා ගැනීමේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මුහුණ දෙන අභියෝග සහ ඒ සඳහා ලබාදිය යුතු සහාය පිළිබඳව ද කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ විශේෂ අවධානයක් යොමු විය.

තවද, අපනයන කේන්ද්‍රගත සංවර්ධන වැඩසටහන් හරහා වැවිලි ක්ෂේත්‍රයේ නිෂ්පාදනවල තරඟකාරීත්වය ඉහළ නැංවීම, නව විදේශීය වෙළෙඳපොළ අවස්ථා හඳුනාගැනීම සහ අපනයන වටිනාකම වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.