ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය Miyon Lee මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාල පරීශ්‍රයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුවේ (ICAPP) සංවිධාන කටයුතු පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
ICAPP සංවිධානයේ නියෝජිතයෙකු නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණ අදාළ නිලධාරීන් හමුවීමට අපේක්ෂා කරන බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.
අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බවද තානාපතිනිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා කොරියානු සමාගම් වැඩි උනන්දුවක් දක්වන බවත් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ට මාර්ග සංඥා පද්ධති ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය සම්බන්ධ ශඛ්‍යතා සංවර්ධනයට අදාලව කොරියාව සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීමටද කටයුතු කරන බවද ඇය පවසුවාය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර වසර 50ක් සපිරීම ලබන වසරට යෙදෙන බැවින්, එම සැමරුම් වැඩසටහන් සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට දකුණු කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Eunjikang මෙනවිය ද එක් විය.


