අලි සම්පත ආරක්ෂා කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා - පරිසර අමාත්‍ය

අලි සම්පත ආරක්ෂා කිරීමට නව ක්‍රියාමාර්ග රැසක්  ගෙන තිබෙනවා - පරිසර අමාත්‍ය
  • SocialShare:

අලි සම්පත ආරක්ෂා කර ගැනීමට පරිසර අමාත්‍යංශය, ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතා පවසයි.

එම වැඩපිළිවෙළේ එක් ප්‍රධාන පියවරක් ලෙස හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

වනාන්තරවල වෙසෙන වන අලි සංරක්ෂණය කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඔහු පැවසීය.

හීලෑ අලි සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමේදී පවතින ගැටලු පිළිබඳවද අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයක් ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් විද්වතුන් සහ අදාළ පාර්ශව එක් කරමින් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අලි සංරක්ෂණය සම්බන්ධ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා, පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ හා අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති බව සඳහන් කළේය.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබුණද ඊට අදාළ නීති සහ රෙගුලාසි පෙර නොතිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වසරේ ජනවාරි 30 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් එම රක්ෂිතයට අදාළ නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී අදාළ කළමනාකරණ කමිටුව පත් කර දැනට හඳුනාගෙන ඇති ගැටලු සඳහා නිර්දේශ ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.