ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් මහතා, ඕමාන ආයෝජන අධිකාරියේ ආහාර සුරක්ෂිතතා අංශයේ නියෝජිත පිරිසක් ඊයේ (13) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාවෙන් ඕමානයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම මගින් ඕමානයේ දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවයට සහය වීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකාර්මික අංශයන්හි පවතින විභව ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
මේ පිළිබඳව ඕමාන රාජ්‍යය දක්වන උනන්දුව අගය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කිරි නිෂ්පාදන අංශවල පවතින පුළුල් ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී පෙන්වා දුන්නේය.
රජයට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීම ඇතුලුව හඳුනාගත් කෘෂිකාර්මික ව්‍යාපෘති කිහිපයක් සඳහා රජය ඉදිරියේදී උනන්දුව ප්‍රකාශ කිරීමේ කැඳවීම් (EOIs) නිකුත් කිරීමට සූදානම් බවත්, ඒවා ප්‍රකාශයට පත් කළ පසු ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙසත් අමාත්‍යවරයා ඕමාන පාර්ශ්වයට ආරාධනා කර ඇත.


