අනාගත ලෝකයට ගැළපෙන “සුහුරු පුරවැසියන්” බිහිකිරීම රජයේ මූලික අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා පවසයි.
වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ 2026-I කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවයට පසුගියදා (12) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විනය, නායකත්වය සහ පෞරුෂ සංවර්ධනය මූලික කරගනිමින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි.
තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ ජීවන කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් පැවැති පාඨමාලාව සාර්ථකව නිම කළ තරුණ තරුණියන් වෙත සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදු විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, 9 වසරෙන් පසු සිසුන්ට ශාස්ත්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමේ අවස්ථාව නව රජයේ වැඩපිළිවෙළ යටතේ ලබාදී ඇති බව පැවසුවේය.
උපාධිධාරීන් පමණක් නොව වෘත්තීය නිපුණතාවයෙන් යුතු ශිල්පීන් ද සමාජයට අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රට පුරා තාක්ෂණික විද්‍යාල 50ක් අලුතින් ආරම්භ කිරීමට හෝ පවතින ඒවා සංවර්ධනය කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද පැවසීය.
'සිස්ටම් චේන්ජ්' හෙවත් ක්‍රමවේදයේ වෙනස පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එම වෙනස ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ මනසින් සහ භාවිතයෙන් බවයි.
තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අමාත්‍යවරයා, වයස අවුරුදු 12ත් 17ත් අතර දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජය සියයට 90ක පමණ සාර්ථකත්වයක් ලබා ඇති බව සඳහන් කළේය. එම උවදුර මුලිනුපුටා දැමීම සඳහා “නැත” යන ස්ථාවරයේ සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
වෘත්තීය කුසලතා සමඟ සාහිත්‍ය, සංගීතය, කලා සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල නිරත වීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, නිරෝගී සමාජයක් ගොඩනැගීමට “ජීවත් වන අවුරුදු ගණන” පමණක් නොව “නිරෝගීව ජීවත් වන අවුරුදු ගණන” ඉහළ නැංවීම වැදගත් බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට දිමුතු පදනමේ සභාපති ජූඩ් නිකලස් පියතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


